හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පදිංචිව සිටි කොළඹ 07, විජේරාම මාවතේ පිහිටි නිල නිවසේ ගෙවා නොමැති ජල සහ විදුලි බිල්පත් හේතුවෙන්, එම සැපයුම් විසන්ධි කිරීමට අදාළ ආයතනවල නිලධාරීන් පෙරේදා (07) එම ස්ථානයට ගොස් තිබේ.

වාර්තා වන පරිදි, එම නිවසේ රුපියල් ලක්ෂ 6ක හිඟ ජල බිල්පතක් සහ රුපියල් ලක්ෂයක හිඟ විදුලි බිල්පතක් පවතී. ඒ අනුව, ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සහ ලංකා විදුලිබල මණ්ඩලය විසින් මෙම සැපයුම් විසන්ධි කිරීමට පියවර ගෙන ඇත. කෙසේ වෙතත්, එම අවස්ථාවේදී නිවසේ රැඳී සිට ඇත්තේ ආරක්ෂක නිලධාරීන් පමණක් වීම නිසාත්, හිඟ බිල්පත් පිළිබඳව වගකිවයුතු පාර්ශ්ව දැනුවත් කරන බවට ඔවුන් පොරොන්දු වීම නිසාත්, නිලධාරීන් සැපයුම් විසන්ධි නොකර ආපසු පැමිණ තිබේ.

මේ පිළිබඳව කළ විමසීමකදී ජල සම්පාදන මණ්ඩලයේ සභාපති චන්දන බණ්ඩාර මහතා, රුපියල් ලක්ෂ 6ක හිඟයක් පවතින බවත්, සාමාන්‍ය ක්‍රියා පටිපාටිය යටතේ ජල සැපයුම අත්හිටුවීමට නිලධාරීන් එහි ගිය බවත් තහවුරු කළේය.

මෙම තත්ත්වයට මූලික හේතුව වී ඇත්තේ, මහින්ද රාජපක්ෂ මහතා නිවසින් ඉවත්ව ගියද, එය මෙතෙක් නිල වශයෙන් රජයට භාරදී නොතිබීමයි. රාජපක්ෂ මහතාගේ පාර්ශ්වය පෙන්වා දෙන්නේ, නිවස භාරදීමට පෙර එහි ඇති ජනාධිපති කාර්යාලය, අග්‍රාමාත්‍ය කාර්යාලය සහ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයට අයත් භාණ්ඩ නිසි ලෙස ලේඛනගත කර වෙන් කළ යුතු බවයි. මීට පෙර එම නිවසේ පදිංචිව සිටි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ කාලයේ තිබූ රජයේ භාණ්ඩ ද තවමත් එහි තිබිය හැකි බවට විශ්වාස කෙරේ.

නිවස නිල වශයෙන් භාරදෙන තුරු එකතුවන සියලුම උපයෝගිතා බිල්පත් ගෙවීමට තම පාර්ශ්වයට සිදුවන බැවින්, මෙම භාරගැනීමේ ක්‍රියාවලිය කඩිනම් කරන ලෙස මහින්ද රාජපක්ෂ මහතාගේ පාර්ශ්වය රජයෙන් ඉල්ලා සිටියි.