හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා සමග කුමන්ත්‍රණය කර, 2022 අරගල සමයේදී ගිනිබත් කර විනාශ කරන ලද දේපළක් සඳහා වන්දි මුදලක් නියම කිරීමේදී දූෂණයක් සිදුකළ බවට චෝදනා කරමින්, හානිපූර්ණ කාර්යාලයේ හිටපු වැඩබලන අධ්‍යක්ෂ ජනරාල්වරිය අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අද (08) අත්අඩංගුවට ගෙන තිබේ.

කිරිඉබ්බන්වැව ප්‍රදේශයේ මහවැලි අධිකාරියට අයත් ඉඩමක පිහිටි දේපළක් සඳහා රුපියල් 8,850,000ක වන්දි මුදලක් ලබාගැනීමට රාජ්‍ය නිලධාරීන්ට බලපෑම් කරමින්, රාජ්‍ය දේපළ සාවද්‍ය ලෙස පරිහරණය කිරීමට ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතාට ආධාර සහ අනුබල දීම සම්බන්ධයෙන් අතිරේක ලේකම්වරියක වන ඇයව අත්අඩංගුවට ගෙන ඇත. ඇය මෙම විමර්ශනයේ දෙවන සැකකාරිය ලෙස නම් කර තිබේ.

මෙම දූෂණ චෝදනාව සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් දැනටමත් නඩු පවරා විමර්ශන සිදුකරමින් පවතී.

අත්අඩංගුවට ගත් සැකකාරිය අද දින කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිත බව අල්ලස් කොමිසම වැඩිදුරටත් සඳහන් කරයි.