කිරින්ද ධීවර වරායේ වැලි ඉවත් කිරීමේ කටයුතු කොරියානු සමාගමකට පැවරීමෙන් රජයට රුපියල් ලක්ෂ 260කට අධික පාඩුවක් සිදුකළ බවට වන චෝදනාව මත, හිටපු ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට සහ තවත් විත්තිකරුවෙකුට එරෙහිව මහාධිකරණයේ අධිචෝදනා ගොනු කරන බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව අධිකරණයට දැනුම් දුන්නේය.

මෙම දැනුම්දීම ඊයේ (26) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස්. බෝදරගම මහතා ඉදිරියේ නඩුව කැඳවූ අවස්ථාවේදී සිදුකෙරිණි.

අල්ලස් කොමිසමේ නිලධාරීන් අධිකරණයට දන්වා සිටියේ, සිද්ධියට අදාළ විමර්ශන මේ වන විට අවසන් කර ඇති බැවින්, සැකකරුවන්ට එරෙහිව මහාධිකරණයේ නඩු පැවරීමට කටයුතු කරන බවයි.

මෙම නඩුවේ විත්තිකරුවන් ලෙස හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සහ ධීවර වරාය නීතිගත සංස්ථාවේ හිටපු සභාපති උපාලි ලියනගේ මහතා නම් කර තිබේ.

දැනට ඇප මත නිදහස්ව සිටින විත්තිකරුවන්ට අදාළ නඩුකරය, නැවත ජනවාරි මස 30 වනදා කැඳවීමට මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.