2023 අංක 09 දරන නව දූෂණ විරෝධී පනත යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සිය වත්කම් හා බැරකම් ප්‍රකාශ අනිවාර්යයෙන්ම ප්‍රසිද්ධියට පත්කළ යුතු වුවද, එම නීතියට පිටුපාමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, ආණ්ඩු පක්ෂයේ කැබිනට් අමාත්‍යවරුන් දෙදෙනෙකු, නියෝජ්‍ය අමාත්‍යවරුන් සහ නියෝජ්‍ය කතානායකවරයා ඇතුළු මන්ත්‍රීවරුන් 57 දෙනෙකු මේ දක්වා සිය වත්කම් ප්‍රකාශ ප්‍රසිද්ධ කර නොමැති බව අනාවරණය වේ.
නව නීතියට අනුව, අදාළ තැනැත්තන් සියලු දෙනා ජූනි 30 වන දිනට පෙර අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙත සිය වත්කම් ප්‍රකාශ භාර දිය යුතු අතර, කොමිසම විසින් ඒවා සිය නිල වෙබ් අඩවියේ පළ කළ යුතුය.
එම නියමිත කාල සීමාව ඉක්මවා මාස දෙකකට අධික කාලයක් ගතවී තිබියදීත්, සැප්තැම්බර් 24 වන දින වන විට මන්ත්‍රීවරුන් 57 දෙනෙකුගේ වත්කම් ප්‍රකාශ මෙලෙස ප්‍රසිද්ධ කර නොතිබීම බරපතල තත්ත්වයකි.
මෙම ලැයිස්තුවට පාලක ජාතික ජන බලවේගයේ නියෝජිතයින් 31 දෙනෙකු, ප්‍රධාන විපක්ෂය වන සමගි ජන බලවේගයේ නියෝජිතයින් 13 දෙනෙකු, ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ 05 දෙනෙකු සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය සහ එක්සත් ජාතික පක්ෂය ඇතුළු අනෙකුත් පක්ෂ නියෝජනය කරන මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුම ඇතුළත් වීම විශේෂත්වයකි.
මෙම තත්ත්වය, දූෂණයට එරෙහිව සහ විනිවිදභාවය තහවුරු කිරීම සඳහා සම්මත කරන ලද නව නීතිය ක්‍රියාත්මක කිරීමේදී මහජන නියෝජිතයන් දක්වන උනන්දුව පිළිබඳව බරපතල ප්‍රශ්න මතු කරයි.