මත්ද්‍රව්‍ය සහ සංවිධානාත්මක අපරාධවලට දකුණේ දේශපාලකයන් සම්බන්ධ බවට තොරතුරු අනාවරණයවී ඇති බව මහජන ආරක්ෂක ඇමති ආනන්ද විජේපාල පවසද්දී ඒ පිළිබඳව නිසි තොරතුරු ජනතාවට ඉදිරිපත් නොකරන්නේ ඇයිදැයි යනුවෙන් ඊයේ (23) පැවති කැබිනට් තීරන දැනුම්දිමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් විමසා සිටියේය.


ඊට පිළිතුරු දුන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී නීතිඥ එෆ්.යූ. වුට්ලර් පැවසුවේ, යම් හෙයකින් නමක් ගමක් විමර්ශනයකදී එළිදැක්වුවහොත් ඉදිරි විමර්ශන කටයුතු වලට බාධා වන බවයි.

එබැවින් ඉතාමත්ම සංවේදීව සහ පැහැදිලිව විමර්ශන කටයුතු සිදු කරමින් යන බවත් ඉදිරියේදී යහපත් ප්‍රතිඵල ලබා දීමට හැකි වන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

මේ පිළිබඳව අදහස් දැක්වූ කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කළේ, පරීක්ෂණ අංශ කලබලයකින් තොරව වැඩකටයුතු කරගෙන යන බවත්, මෙය සුළුපටු කාරණයක් නොවන බවත් ය.

“මේ ජාලය සැලකිය යුතු පදාසයක විහිදිලා තියෙන්නේ. සමහර ආරක්ෂක අංශ, සමහර දේශපාලන යාන්ත්‍රණ මේවාට සම්බන්ධයි. ඒවා පරීක්ෂණවලින් හෙළිදරව් වෙමින් පවතිනවා,” යනුවෙන් පැවසූ නලින්ද ජයතිස්ස අමාත්‍යවරයා, ජනතාව කලබල විය යුතු නැති බවත්, විශ්වාසයෙන් බලා සිටින ලෙසත් එහිදී ඉල්ලා සිටියේය.

මෙම ජාලය කෙතරම් දුරට විහිදී ඇත්දැයි පරීක්ෂණ ඔස්සේ සොයා ගන්නා බවත්, ඉදිරියේදී තවත් අත්අඩංගුවට ගැනීම් සිදුවනු ඇති බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

මත්ද්‍රව්‍ය සහ අපරාධවලට දකුණේ දේශපාලකයන් සම්බන්ධයි – මහජන ආරක්ෂක ඇමති

මත්ද්‍රව්‍ය සහ සංවිධානාත්මක අපරාධවලට දකුණේ දේශපාලකයන් සම්බන්ධ බවට තොරතුරු අනාවරණයවී ඇති බව මහජන ආරක්ෂක ඇමති ආනන්ද විජේපාල පසුගියදා (සැප්තැම්බර් 22) පැවති මාධ්‍ය හමුවකදී පැවසිය.

මේ වනවිට මහජනතාව විසින් ලබාදෙන තොරතුරු සහ බුද්ධි අංශ තොරතුරු මත මත්ද්‍රව්‍ය සහ සංවිධානාත්මක අපරාධවලට දකුණේ දේශපාලකයන් සම්බන්ධ බවට කරුණු අනාවරණය වෙමින් පවතින බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

පසුගිය දේශපාලන සංස්කෘතිය හේතුවෙන් සංවිධානාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාලය වර්ධනය වී ඇති බවත් වත්මන් ආණ්ඩුව මේ සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කර ඇති බවත් මහජන ආරක්ෂක ඇමති ආනන්ද විජේපාල අවධාරණය කළේය.

මහජනතාව දන්නා තොරතුරු පොලිසියට ලබාදෙන ලෙසත් එම තොරතුරු හා පුද්ගලයාගේ ආරක්ෂාව සුරක්ෂිත කිරීමට කටයුතු කරන බවත් මහජන ආරක්ෂක ඇමති ආනන්ද විජේපාල වැඩිදුරටත් ප්‍රකාශ කළේය.