බස්නාහිර පළාත් සභාව සහ අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරිය ඒකාබද්ධව පළාතේ අපද්‍රව්‍ය අර්බුදයට විසඳුම් සෙවීම සඳහා ක්‍රියාත්මක කරන “පිරිසිදු රටක්,සුන්දර ජීවිතයක්” වැඩසටහනට සමගාමීව පවත්වන ලද රැස්වීමක් අද (18) දින බස්නාහිර පළාත් ආණ්ඩුකාර ලේකම් කාර්යාලයේදී පැවැත් වූ අතර මෙම වැඩසටහන රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්වයන් හරහා ක්‍රියාත්මක කිරීමට නියමිතව ඇත.

අපද්‍රව්‍ය එකතු කිරීමේ කාර්යක්ෂමතාව 60% සිට 50% දක්වා පහත වැටී ඇති අතර, එමගින් ඩෙංගු උණ ඇතුළු මහජන සෞඛ්‍ය අවදානම් තත්වයන් සහ පරිසර හානි මේ වන විට ඇති වී තිබේ. ගරු ආණ්ඩුකාර හනීෆ් යූසුෆ් මහතාගේ සහ බස්නාහිර පළාත් අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරියේ නිලධාරීන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වූ මෙම රැස්වීම සඳහා යුනිලීවර් සහ කොකාකෝලා වැනි ප්‍රධාන සමාගම් සහ UNDP වැනි ජාත්‍යන්තර හවුල්කරුවන් ඇතුළු පාර්ශ්වකරුවන් 20කට වැඩි පිරිසක් සහභාගී විය.

මෙම වැඩසටහන ප්‍රධාන ක්ෂේත්‍ර පහක් කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක කරන අතර නිසි අපද්‍රව්‍ය වෙන්කිරීම, පරිසරයට අපද්‍රව්‍ය බැහැර කිරීම වැළැක්වීම, ජල මාර්ගවලට අපද්‍රව්‍ය මුදාහැරීම තුරන් කිරීම, පරිසරයේ පිරිසිදුකම පවත්වාගෙන යාම, සහ ප්‍රජාව සවිබලගැන්වීම යන ආදී කරුණු ඇතුලත් වේ.

“පිරිසිදු රටක්” නිර්මාණය කරගැනීමේ අරමුණ පෙරදැරි කරගනිමින් පරිසර ආරක්ෂණය සඳහා ප්‍රජාව සවිබල ගැන්වීම සහ මහජනයා සතු වගකීම් පිළිබඳව අවධානය යොමු කිරීම මෙම වැඩසටහනේ මූලික අරමුණයි.