ඊශ්‍රායලයේ පැවැත්මට ඉරානයෙන් එල්ල වන තර්ජනය මැඩ පැවැත්වීම සඳහා අද (13) රයිසින් ලයන් මෙහෙයුම ආරම්භ කරමින් ඊශ්‍රායල ආරක්ෂක හමුදා ඉරානය වෙත ගුවන් ප්‍රහාර මාලාවක් දියත් කළේය.

ඉරාන න්‍යෂ්ටික මධ්‍යස්ථාන සහ හමුදා නායකයින් එම ප්‍රහාර මාලාවේ ඉලක්කය විය.

ප්‍රහාර මාලාවෙන් ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකායේ අණදෙන නිලධාරී ජෙනරාල් හුසේන් සලාමී ඇතුළු ජ්‍යෙෂ්ඨ හමුදා නායකයින් සහ විද්‍යාඥයින් පිරිසක් මිය ගියේය.

රයිසින් ලයන් මෙහෙයුම මාධ්‍ය වෙත ප්‍රකාශයක් නිකුත් කරමින් ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු මහතා ප්‍රකාශ කර සිටියේ ඊශ්‍රායල ආරක්ෂක හමුදා ඉරාන හමුදාවේ ජ්‍යෙෂ්ඨ අණදෙන නිලධාරීන් සහ න්‍යෂ්ටික අවි සංවර්ධනය ඉදිරියට ගෙන යන ජ්‍යෙෂ්ඨ විද්‍යාඥයින් ඉලක්ක කරමින් එල්ල කළ පළමු ප්‍රහාර මාලාව සාර්ථක වූ බවයි. ඉරානය ඊශ්‍රායලයේ පැවැත්මට තර්ජනයක් බවත් එම තර්ජනය මැඩ පවත්වන තෙක් රයිසින් ලයන් මෙහෙයුම ක්‍රියාත්මක වනු ඇති බවත් ඔහු පැවැසුවේය.

ඉරානයේ නටාන්ස් නගරයේ පිහිටි ප්‍රධාන යුරේනියම් බලගැන්වීමේ මධ්‍යස්ථානයට ඊශ්‍රායල ආරක්ෂක හමුදා කීපවතාවක් ප්‍රහාර එල්ල කර තිබූ අතර ඉන් පිපිරීමක් සිදුව ගින්නක් හටගෙන තිබිණි. ඒ පිළිබඳ නිවේදනයක් නිකුත් කරමින් ඉරානය ප්‍රකාශ කර සිටියේ නටාන්ස් යුරේනියම් බලගැන්වීමේ මධ්‍යස්ථානය විනාශ වීම හේතුවෙන් නව යුරේනියම් බලගැන්වීමේ මධ්‍යස්ථානයක් පිහිටුවීමට තීරණය කර බවයි.

ප්‍රහාර මාලාව එල්ල වීමත් සමග ට්‍රම්ප් පරිපාලනය ප්‍රකාශ කර සිටියේ මෙහෙයුම පිළිබඳව කලින් දැනගෙන සිටියත් ඇමෙරිකාව ඊට කිසිඳු සම්බන්ධයක් නොමැති බවයි.

ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් අනතුරු අඟවමින් ප්‍රකාශ කර සිටියේ මියගිය පිරිසට ආදේශක නිලධාරීන් සිටින බවත් ඔවුන් ප්‍රමාදයකින් තනතුරේ රාජකාරී ප්‍රමාදයකින් තොරව ඉදිරියට ගෙන යනු ඇති බවත්ය. අනිවාර්යයෙන්ම ඉරානයට එල්ල වූ ප්‍රහාර මාලාවට ඇමෙරිකාවට සහ ඊශ්‍රායලයට වන්දි ගෙවීමට සිදුවනු ඇතැයි පවසමින් කමේනි අනතුරු ඇඟවීමක්ද සිදු කළේය.