අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ කණ්ඩායම් 28ක් දිවයිනේ සියළු බන්ධනාගාර වෙත යොමුකර තිබේ.

ඒ , ජනාධිපති සමාව අනීතිකව භාවිත කර රැඳවියන් නිදහස් කර ඇතැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශන වලට අදාළවයි.

ඒ අනුව  අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තු කණ්ඩායම් විසින් බන්ධනාගාර තුළ ඇති ලේඛණ රැසක් පරික්ෂා කරන බව පොලීසිය සඳහන් කළේ ය.

ජනාධිපති සමාව නොලැබූ අනුරාධපුර බන්ධනාගාරයේ රැඳවියෙකු වෙසක් පොහොය දිනයේ නිදහස් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මේ වනවිට දැඩි ආන්දෝලනාත්මක තත්වයක් මතුව තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා අත්අඩංගුවට ගෙන ලබන 25 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර සිටියි.

තුෂාර උපුල්දෙණිය මහතා , මේ වන විට කොළඹ බන්ධනාගාරයක ආරක්ෂිතව රඳවා ඇතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබු, අනුරාධපුර බන්ධනාගාර අධිකාරි මොහාන් කරුණාරත්න මහතා ද හෙට(13) දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

මේ අතර බන්ධනාගාර කොමසාරිස් සහ මාධ්‍ය ප්‍රකාශක ගාමිණි බී.දිසානායක මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය බන්ධනාගාර දෙපාර්තමේන්තුවට යොමුකර තිබේ.