ලෝකයේ විවිධ රටවල්වල පැතිර යමින් සිටින නව කොවිඩ් වෛරස වර්ගය ගැන දැනටමත් අවධානය යොමු කර සිටින බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කර සිටියි.

අද (27දා) කැබිනට් තීරණ පිළිබඳ මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා සඳහන් කළේ මෙරට තුළ තවම භයකර තත්ත්වයක් උද්ගත වී නොමැති වුවද, ගුවන්තොටුපොළේ සිට එය සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගනිමින් සිටින බවයි.

මේ අතර වැඩිදුර අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙසේ ප්‍රකාශ කළේය:

“සිංගප්පූරුවේ සහ ඉන්දියාවේ යම් ප්‍රමාණයක් වාර්තා වී තිබේ. අප ඒ සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් සිටිමු. අතීතයේ තිබූ ආකාරයේ අනතුරක් පිළිබඳ තොරතුරු තවම ලැබී නැත. කෙසේ වෙතත් ගුවන්තොටුපොළේ සිට ඒ සම්බන්ධ ක්‍රියාමාර්ග දිගටම ගෙන යමින් සිටිමු.”

ශ්‍රී ලංකාවට වඩාත්ම ආසන්න රට වන ඉන්දියාවේ නව කොවිඩ් වෛරස ආසාදනයට ගොදුරු වූ රෝගීන් 1,009ක් හඳුනාගෙන ඇති බව මෑතකදී ඉන්දීය මාධ්‍ය සඳහන් කර ඇත. ඒ අතරින් පුද්ගලයන් 4දෙනෙකු මරණයට පත්වී ඇති බවද වාර්තා වී තිබේ.