සිංහලේ ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු ලෙසින් පෙනී සිටි ඩෑන් ප්‍රියසාද් කටුනායක ගුවන්තොටුපොළේදී අද (11) අත්අඩංගුවට ගැනුණා. පොලිස් මාධ්‍ය කොට්ඨාසය පැවසුවේ, ගල්ගමුව මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන නඩුවකට අදාළව නිකුත් කර ඇති විදෙස් ගමන් තහනමකට අනුව ඔහු අත්අඩංගුවට ගනු ලැබූ බවයි. මත්ද්‍රව්‍ය ජාවරුම්කරුවෙකු අත්අඩංගුවට නොගන්නා ලෙස පොලිස් ස්ථානාධිපතිවරයෙකුට බලපෑම් කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයකට අදාළව ඩෑන් ප්‍රියසාද් අත්අඩංගුවට ගන්නා ලෙස අධිකරණයෙන් නියෝගයක් නිකුත් කර තිබූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග කියා සිටියා.
“2024 වසරේදී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු අත්අඩංගුවට නොගන්නා ලෙසට නාන්නේරිය පොලිස් ස්ථානාධිපතිවරයාට බලපෑම් කිරීම සම්බන්ධයෙන් ඩෑන් ප්‍රියසාද්ට එරෙහිව නිකවැරටිය පොලිස් අපරාධ කොට්ඨාසය විසින් විමර්ශනයක් ආරම්භ කරනු ලැබුවා. ඊට අදාළව ගල්ගමුව මහේස්ත්‍රාත් අධිකරණය මගින් ඩෑන් ප්‍රියසාද්ට එරෙහිව විදෙස් ගමන් තහනමක් මෙන් ම ඔහු අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස නියෝග දෙකක් නිකුත් කරනු ලැබුවා” යෑයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියා. ඒ අනුව, අද දින උදෑසන 6.00ට පමණ ඩුබායි සිට ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේදී ඩෑන් ප්‍රියසාද් අත්අඩංගුවට ගෙන නිකවැරටිය පොලිස් අපරාධ කොට්ඨාසය වෙත වැඩිදුර විමර්ශන සඳහා භාර දෙන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරනවා.
2022 වසරේ මැයි මස 09 වන දා කොළඹ ගාලු මුවදොර පැවති සාමකාමී විරෝධතාවට පහරදීමේ නඩුවේ 06 වන විත්තිකරු ලෙස ඔහු නම් කර තිබෙනවා. එමෙන් ම, 2017 වසරේදී ගල්කිස්ස ප්‍රදේශයේ රෝහින්ග්‍යා සරණාගතයින් රඳවා සිටි ගොඩනැගිල්ලක් අසල කලහකාරී ලෙස හැසිරීම සම්බන්ධයෙන් ඩෑන් ප්‍රියසාද් අත්අඩංගුවට ගනු ලැබ තිබුණා. මීට අමතරව, මෙරට තුළ ඇති වූ විවිධ කලහකාරී සිදුවීම් කිහිපයක් සම්බන්ධයෙන් විවිධ අවස්ථාවලදී ඩෑන් ප්‍රියසාද් අත්අඩංගුවට ගැනුණා.
2024 වසරේ සැප්තැම්බර් මාසයේදී කටුනායක ගුවන්තොටුපළින් විදෙස්ගත වීමට පැමිණි ඩෑන් ප්‍රියසාද් ආගමන විගමන නිලධාරීන් විසින් ආපසු හරවා යවනු ලැබුවා. ඒ ඔහුට එරෙහිව අධිකරණය පනවා තිබූ විදෙස් ගමන් තහනමක් හේතුවෙන්. පසුව මේ වසරේ ජනවාරි මස 29 වන දා ඩුබායිහිදී සිදුවූ රිය අනතුරකින් ඩෑන් ප්‍රියසාද් මිය ගිය බවට පුවතක් ප්‍රචාරය වුණා. ඒ අනුව සමාජ මාධ්‍ය ඔස්සේ ඔහු මිය ගිය බවට දැක්වෙන සටහන් රැසක් පළවී තිබුණා.