ශ්‍රී ලංකාව සිය නිල ණයහිමියන්ගේ කමිටුවේ සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ උපදේශන ක්‍රියාවලිය සාර්ථකව අවසන් කළ බව මුදල් අමාත්‍යාංශය නිවේදනය කරනවා. මුදල් අමාත්‍යාංශය කියන්නේ ඒ පිළිබඳ නිල තහවුරු කිරීම නිල ණයහිමියන්ගේ කමිටුවෙන් ලැබුණු බවයි.

ශ්‍රී ලංකාව ණය ප්‍රතිව්‍යුහගතකරණයට අදාළව අන්තර්ජාතික ස්වෛරී බැඳුම්කර හිමියන් සමඟ ප්‍රතිපත්තිමය එකඟතාවකට එළඹි බව පසුගිය සැප්තැම්බර් 19 වැනිදා නිවේදනය කෙරුවා. ඒ අනුව නිල ණයහිමියන්ගේ කමිටුව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග උපදේශන ක්‍රියාවලිය ශ්‍රී ලංකාව සාර්ථකව නිමා කර ඇති බවයි මුදල් අමාත්‍යාංශය ඊයේ (04) නිවේදනය කළේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබන වැඩසටහනේ පරාමිතීන් සම්පූර්ණ කිරීමට ශ්‍රී ලංකාව මේ අනුව සමත් ව තිබෙනවා.

මුදල් අමාත්‍යාංශය නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ මෙම ක්‍රියාවලිය සාර්ථක කරගැනීම සඳහා ලබාදුන් සහායට සියලු ණය හිමියන්ට, නිල ණයහිමියන්ගේ කමිටුවට සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ස්තුතිය පළ කරන බවයි.