තමන් විසින් සිදුකරන බෞද්ධාගමික කටයුතු අගයන්න ත්‍රෛනිකායික මහා සංඝරත්නය ‘ශ්‍රී සුගත සාසන ප්‍රසාදිනී’ නමින් ගෞරව නාමයක් තමන්ට ප්රදානය කළ බව ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාසගේ බිරිඳ ජලනි ප්‍රේමදාස පවසනවා. තමන්ගේ ආගමික කටයුතු පිළිබඳව බොහෝ දෙනෙක් දැනගත්තේ ඉන් පසුව බවයි ඇය මාධ්‍යයට පවසා ඇත්තේ.
“ඉවසීම තමයි මම සජිත්ගෙන් දකින හොඳම ගුණාංගය. පුදුම විදියේ ඉවසීමේ හැකියාවක් සජිත්ට තියෙනවා. ඒ වගේම සජිත් අන්‍යයන් කෙරෙහි දක්වන ගෞරවය ගැනත් මම කියන්න ඕනෙ. ඒකත් ඔහුගෙ බොහොම හොඳ ගුණාංගයක්. බෞද්ධ දර්ශනයෙත් දැක්වෙන්නේ තමන් උපමාකොට ගෙන අන්‍යයන්ට ගෞරව කරන්න කියලා.
දුර්වලම ගුණාංගය කියලා දෙයක් නම් මම සජිත්ගෙන් දකින්නෙ නැහැ. හැබැයි ඒ ගැන මෙහෙම දෙයක් කියන්න පුළුවන්. සජිත්ට හැම දෙයක්ම සියයට සියයක් අකුරට පිළිවෙළට තියෙන්න ඕනේ. හැම වැඩකදීම ඔහු ඒක බලාපොරොත්තු වෙනවා. සජිත්ගෙ දුර්වලතාවක් විදියට මට කියන්න පුළුවන් ඔය කාරණය තමයි.
තිස්සමහාරාම රජමහා විහාරයෙන් ආරම්භ කරලා මේ වෙනකොට මම කඨින පින්කම් විස්සක් කරලා තියෙනවා. මම කඨින පින්කමකට දායක වෙන්නෙ එයට සමගාමීව කඨින පින්කම කරන විහාරස්ථානය දියුණු කරන වැඩසටහනකුත් එක්ක. ඒ විදිහට විහාරස්ථාන විස්සක් මේ වෙනකොට දියුණු කරලා තියෙනවා. කොවිඩ් වසංගතයෙන් පස්සෙ මුලින්ම කඨින පින්කම කළේ තන්තිරිමලය රජමහා විහාරස්ථානයේ. ඊට පස්සෙ මහියංගණය රජමහා විහාරයේත් සෝමාවතිය රජමහා විහාරස්ථානයේත් කඨින පින්කම් කළා. කඨින පින්කම් හැරුණු විට මම තවත් ආගමික සහ සමාජ සත්කාර රැසකට දායක වෙලා තියෙනවා. සජිත් විපක්ෂ මන්ත්‍රීවරයෙක්ව ඉන්නකොට විහාරස්ථානවලට උදව් කරපු ‘සසුනට අරුණ’ වැඩසටහන සම්බන්ධීකරණය කළේ මම. එයට අමතරව බොහෝ ස්වාමින්වහන්සේලාගෙන් ලැබුණු ඉල්ලීම් අනුව උන්වහන්සේලාගෙ විහාරස්ථානවලට මම හැකි පමණින් උදව් කළා. අදටත් කරනවා.
මගේ මේ බෞද්ධාගමික කටයුතු අගයන්න ත්‍රෛනිකායික මහා සංඝරත්නය ‘ශ්‍රී සුගත සාසන ප්‍රසාදිනී’ නමින් ගෞරව නාමයක් මට ප්රදානය කළා. ඒ වෙලාවෙ තමයි බොහෝ දෙනෙක් දැනගත්තෙ මම කරන මේ ආගමික කටයුතු ගැන. මේ අවුරුද්දේ මහනුවර දළදා මාලිගාවේ කඨින පින්කම කරන්නෙත් මම. ප්‍රසිද්ධියක් නැතිව නිහඬව මේ දේවල් කරන්න තමයි මම කැමැති.
එළැඹෙන විසිඑක් වැනිදා බහුතර ජනතාව මෙරට මීළඟ භාරකරු විදියට සජිත්ව තෝරාගන්නා බව මට සියයට සියයක්ම විශ්වාසයි. මොකද දෙදහස් දහනවය ජනාධිපතිවරණයෙන් පස්සෙ රටටත් ජනතාවටත් මුහුණ දෙන්න වුණු ඛේදනීය තත්ත්ව එක්ක රටේ අතිමහත් බහුතරයක් ඇත්ත වටහාගෙන තියෙනවා. ඒ නිසා මෙවර ජනාධිපතිවරණයේ දි ජනතාව නිවැරැදි තීන්දුව ගනීවි. නිසි දේශපාලන දැනුමක් සහ අත්දැකීම් නැති පුද්ගලයෙක් රටේ මුල් පුරවැසියා කරලා රටට වුණු වින්නැහිය මිනිස්සුන්ට අමතක නැහැ. ඒ නිසා එවැනි තීරණයක් ජනතාව නැවතත් ගන්න එකක් නැහැ. අනෙක් අතට රට ගොඩනගන්න පුළුවන්, දූෂණ චෝදනා නැති, ජාත්‍යන්තර සබඳතා තියෙන, රටේ ආර්ථිකය නිවැරැදිව හැසිරවීමට හැකි කණ්ඩායමකට විතරයි. ඒ කණ්ඩායම ඉන්නෙ සජිත් එක්ක” බව ජලනි ප්‍රේමදාස මහත්මිය පවසනවා.