ශ්‍රේෂ්ඨාධිකරණය මගින් වරදකරුවන් කළ හරීන් ප්‍රනාන්දු සහ අනූෂ නානායක්කාර යන දෙදෙනාගෙන් ජාතික ලැයිස්තුවේ මන්ත්‍රී පුරප්පාඩුව පිරවීම සඳහා හිරුණිකා ප්‍රේමචන්ද්‍ර නම් කිරීමට සූදානම් වන බව දේශපාලන ආරංචි මාර්ගවලින් හෙළි වේ.

පසුගිය මහා මැතිවරණයේදී කොළඹ දිස්ත්‍රික්කයට සමගි ජන බලවේගයෙන් තරඟ කළ හිරුණිකා ප්‍රේමචන්ද්‍රට මන්ත්‍රී ධුරටක් ලබා ගැනීම සඳහා ප්‍රමාණවත් ජනතා ඡන්දයක් හිමි නොවීය. ඒ අතරතුර පුද්ගලයෙකු පැහැරගෙනගොස් වදබන්ධනයට ලක් කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් මෙයට මාස දෙකකට පමණ පෙර වැරදිකාරිය බවට තීන්දු කළ අධිකරණය ඇයට සිරදඬුවම් නියම කර තිබිණි. ඒ සම්බන්ධ අභියායචනයක් ඉදිරිපත්කිරීමෙන් පසුව මේ වනවිට ඇප මත නිදහස් කර සිටී.

හදිසියේ පුරප්පාඩු වූ ජාතික ලයිස්තු මන්ත්‍රී ධුරය ඇයට ලබා දෙනු ඇති බව පක්ෂයේ අභ්‍යන්තර ආරංචිමාර්ග උපුටාදක්වමින් දේශපාලන ක්ෂේත්‍රයේ කතාබහට ලක් වී තිබේ.

තවද,හරීන් ප්‍රනාන්දුගේ මන්ත්‍රී ධුරය ඉවත් කිරීමෙන් ඇති වූ මන්ත්‍රී පුරප්පාඩුව පිරවීමට හිරුනිකා ප්‍රේමචන්ද්‍ර පත් කරනු ඇති බව ඊයේ (09) දහවල් වන විට වාර්තා වී තිබුණ ද, එය දැඩි අවිනිශ්චිත තත්වයකට පත් වී ඇතැයි අලුත් ම තොරතුරුවලින් හෙළි වේ.

එම මන්ත්‍රී ධුරය සඳහා නීතිඥ උපුල් ජයසූරිය හෝ සුජීව සේනසිංහ පත් කළ යුතු බවට සජිත් ප්‍රේමදාස පාර්ශවයෙන් ම යෝජනා වී ඇතැයි අනාවරණය වේ.

විශේෂයෙන් ම, හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මේ වනවිට අධිකරණයේ ඇප මත නිදහස් කර සිටීම තර්කයක් ලෙස ගනිමින් එම යෝජනාව ඉදිරිපත් කර තිබේ.

පසුගිය කාලයේ හිරුනිකා ප්‍රේමචන්ද්‍ර ඉදිරියට පැමිණ සිදු කළ දේශපාලන කටයුතු පිළිබඳව මේ වනවිට අලුත් විවේචන එල්ල වී ඇති බව ද වාර්තා වේ.