සුදුසු පුද්ගලයින් සුදුසු තනතුරුවලට පත්නොකිරීම හේතුවෙන් ඉකුත් සමයේ දී තේ කර්මාන්තය ඇතුළු අනෙකුත් කර්මාන්ත කඩා වැටුණු බව ජාතික ජනබලවේගයේ

මාතර දිස්ත්‍රික් අපේක්ෂක උපුල් කුමාරප්පෙරුම පැවසී ය.

හෙතෙම මේ බව සඳහන් කළේ මාතර දිස්ත්‍රික්කයේ මැතිවරණ ප්‍රචාරක රැළියකට සහභාගී වෙමිනි.

එහි දී වැඩි දුරටත් අදහස් දැක්වූ උපුල් කුමාරප්පෙරුම…

අනුර ගැන ජනතා බලාපොරොත්තුව…

‘‘පහුගිය කාලේ රටේ තරුණ පිරිස රට අත්හැරල ගියා. අයහපත් ආර්ථිකය නිසා සුළු හා මධ්‍ය කර්මාන්ත කඩාගෙන වැටුණා. මිනිස්සු ජීවත්වුණේ හරිම අමාරුවෙන්. මේ අර්බුදවලට විසඳුම් දීල සංවර්ධිත රටක් බිහිකරගන්න අපිට ඕන වුණා. අන්න ඒ නිසා මිනිස්සු ලොකු බලාපොරොත්තුවකින් අනුර දිසානායක සහෝදරයා ජනාධිපති ලෙස පත්කර ගත්තා. ජනාධිපතිවරණයෙ දි ඔහු රට හමුවේ වැඩපිළිවෙළක් ඉදිරිපත් කරා. අනුර සහෝදරයා ජයග්‍රහණය කිරීම හරහා ඔබ ඒ වැඩපිළිවෙළ අනුමත කරා. දැන් අපිට අවශ්‍ය ඒ වැඩපිළිවෙළ මේ රටතුළ ක්‍රියාත්මක කරන්න. ඒ සඳහා දාහතරවෙනි දා ශක්තිමත් පාර්ලිමේන්තු බලයක් අපිට දෙන්න කියල අපි ඔබෙන් ඉල්ලනවා.

මැති සබය අලුත් කළ යුත්තේ ඇයි…?

උදාහරණයක් විදියට ගත්තොත් අපේ තේ නිෂ්පාදනවලට ලෝකයේ ලොකු ඉල්ලුමක් තිබුණා. දැන් තේ නිෂ්පාදනයෙන් අංක එකට ඉන්නෙ චීනය, අංක දෙක කෙන්යාව. අපේ හිටපු පාලකයන්ගෙ යම් යම් වැරදි නිසා අපේ තේ කර්මාන්තයට තිබුණු ඉල්ලුම පහළ වැටිණා. අනෙකුත් කර්මාන්තවලට වුණෙත් ඒකයි. සුදුස්සන් සුදුසු තැන්වලට පත් කරා නම් අපේ තේ ඇතුළු අනෙකුත් කර්මාන්ත කඩා වැටෙන්නේ නැහැ. අපි බලයට ඇවිල්ල සුදුසු අය සුදුසු තැන්වලට පත්කරනවා. මේ රට දියුණු කරන්න ඕන එහෙමයි. මේ ක්‍රමය වෙනස් වෙන්න ඕන. යල්පැන ගිය සම්ප්‍රදායික ක්‍රමවලට රටක් දියුණු කරන්න බැහැ. අපි එකතැන කරකැවෙනකොට ලෝකය අපි පහුකරල හුඟාක් ඉස්සරහට ගිහිල්ලා. රට බලාපොරොත්තු වෙන අලුත් ගමන, පරණ සාම්ප්‍රදායික දේශපාලන ක්‍රමය එක්ක යන්න බෑ. මේ පරණ පාර්ලිමේන්තුව සුද්ද කරලා අපි අලුත් පාර්ලිමේන්තුවක් හදාගන්න ඕන. පාර්ලිමේන්තුව අලුත් කරාම අපිට අලුත් ගමනක් යන්න පුළුවන්.’’