නොබෙල් සාම ත්‍යාගලාභී ආචාර්ය මොහොමඩ් යුනුස් බංගලාදේශයේ අන්තර්වාර රජයක ප්‍රධාන උපදේශකවරයා ලෙස පත් කරන බවට එරට ජනාධිපති කාර්යාලය නිවේදනය කර තිබෙනවා. විදෙස් වාර්තා සඳහන් කරනුයේ ජනාධිපති මොහොමඩ් ෂහාබුදීන් සහ සිසු කණ්ඩායමේ ප්‍රධානීන් සහ හමුදාවේ සහභාගීත්වයකින් පැවති සාකච්ඡාවක දී මෙම තීරණය ගෙන ඇති බවයි.
බංගලාදේශ අගමාත්‍ය ෂීක් හසීනා රටින් පළා යාමත් සමඟ ශිෂ්‍ය නායකයින් හමුදා රජයක් පිළිනොගන්නා බවට ප්‍රකාශ කර තිබුණා. ඒ අනුව අන්තර්වාර පාලනයකට නායකත්වය දීමට ආචාර්ය මොහොමඩ් යුනුස්ගේ නම යෝජනා වුණා.
මෙම තනතුර භාර ගැනීමට එකඟ වූ නොබෙල් සාම ත්‍යාගලාභී ආචාර්ය මොහොමඩ් යුනුස් පවසා ඇත්තේ මෙම දුෂ්කර අවස්ථාවේ දී සිසුන් කළ ඉල්ලීම තමන්ට ප්‍රතික්ෂේප කළ නොහැකි බවයි.
ඊයේ (06) අඟහරුවාදා ජනාධිපති මොහොමඩ් ෂහාබුදීන් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් පසු ඩකාහි ශිෂ්‍ය විරෝධතාකරුවන් මොහොමඩ් යුනුස් මහතාගෙන් රජයට නායකත්වය දෙන ලෙස ඉල්ලා සිටියා. අලුතින් මැතිවරණයක් පැවැත්වෙන තෙක් බලය පවත්වා ගැනීම සඳහා අතුරු කැබිනට් මණ්ඩලයක් පිහිටුවීමටයි සිසුන් යෝජනා කළේ.
2006 වසරේ නොබෙල් සාම ත්‍යාගය දිනාගත් 84 හැවිරිදි ආචාර්ය මොහොමඩ් යුනුස්ගේ පත්වීම අද, බදාදා අලුයම නිවේදනය කළා. ඔහු ප්‍රකට ක්ෂුද්‍ර ණය ආයතනයක් වූ ග්‍රාමීන් බැංකුවේ නිර්මාතෘවරයා යි. නොබෙල් සෑම තයග හිමිවුයේ ඔහුට සහ ග්‍රාමීන් බැංකුවට යි. ෂික් හසීනාගේ පාලන කාලයේ දී ඔහුට නඩු කිහිපයකටම මුහුණ දීමට සිදුවුණා.
“ජාත්‍යන්තරව පුළුල් පිළිගැනීමක් ඇති කීර්තිමත් නොබෙල් ත්‍යාගලාභී ආචාර්ය මොහොමඩ් යුනුස් මහතා ප්‍රධානියා ලෙස පත්කරන අන්තර්වාර රජයක් පිහිටුවීමට අපි තීරණය කර ඇත්තෙමු” යි Anti-Discrimination Student Movement සංවිධායක නහිඩ් ඉස්ලාම් පවසා තිබුණා.
හිටපු අගමැතිනිය ෂීක් හසීනා සඳුදා සවස දිල්ලියට පැමිණි බව ඊයේ අඟහරුවාදා ඉන්දීය රජය තහවුරු කළා.
ඉන්දියාවේ විදේශ කටයුතු ඇමති එස්. ජයශංකර් ඉන්දීය පාර්ලිමේන්තුවට පැවසුවේ ඉතා කෙටි දැනුම්දීමකින්, ෂීක් හසීනා හිටපු අගමැතිනිය ඉන්දියාවට පැමිණීමට අනුමැතිය ඉල්ලා සිටි බවයි.
සමහර මාධ්‍ය වාර්තා කරන්නේ ඇය එක්සත් රාජධානියේ දේශපාලන රැකවරණය පැතීමට සැලසුම් කරන බවයි. සිය නැගෙණිය වන ෂික් රෙහානාගේ දියණිය Tulip Siddiq මේ වනවිට එක්සත් රාජධානියේ පාලක කම්කරු පක්ෂයේ මන්ත්‍රීවරියක්.