ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සහ ජනාධිපති ජ්‍යෙෂ්ඨ ආරක්ෂක උපදේශක සාගල රත්නායක ගමන් ගත රථය පසුගිය 21 වනදා අනුරාධපුර තිසා වැව ආසන්නයේදී ලොරි රථයක ගැටීමෙන් අනතුරක් සිදුව තිබේ.

මෙම අනතුරෙන් ලොරි රථයේ සිටි රියදුරා, ඔහුගේ ගැබිනි බරිඳ සහ ලොරි රථයේ පසුපස කොටසේ ගමන් කරමින් සිටි පිරිසේ කුඩා දරුවෙකුට බරපතල තුවාල සිදුව ඇත. ඔවුන් අනුරාධපුර රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටිති.

මෙම අනතුර සිදුව ඇත්තේ ජනාධිපතිගේ තන්තිරිමලේ සංචාරයෙන් පසු ප්‍රභූ රථ පෙළ එදින පස්වරු 6.30ට පමණ තිසා වැව අසලින් ගමන් කරමින් සිටියදීය.

අනතුර සිදු වූ වහාම ප්‍රභූ රථ පෙළේ ගමන් ගත් අදාළ වාහනයේ අංක තහඩු ඉවත් කිරීමට එහි සිටි පිරිස කටයුතු කර තිබේ. එම වාහනය අධික වේගයෙන් පාරේ වැරදි දෙසින් පැමිණි බව සිද්ධිය ඇසින් දුටුවෝ පවසති.

අනතුරට මුහුණ දුන් ලොරි රථයේ රියදුරු සහ ඔහුගේ ගර්භණී බිරිඳ අනතුරෙන් පසු වාහනයෙන් එළියට ගෙන ඇත්තේ ලොරි රථයේ දොර කඩා ඉවත් කිරීමෙන් පසුවය. රියදුරාගේ පාදයක් කොටස් තුනකට කැඩී ඇති බවත් ඔහුගේ හිසටද හානි සිදුව ඇති බවත් ඔහුගේ බිරිඳගේ පාදයද කැඩී ඇති අතර ඔවුන් ශල්‍යකර්ම සඳහා භාජනය කර ඇති බවත් රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

ලොරි රථයේ පිටුපස ගමන් ගත් පස්දෙනා සමග සිටි කුඩා දරුවකුගේ පාදයට දැඩි හානි සිදුවී ඇතැයි වාර්තා වේ.

ප්‍රභූ රථ පෙළේ වාහනයේ රියදුරා අනුරාධපුර පොලිසියෙන් අත්අඩංගුවට ගෙන මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත නිදහස් කර ඇත.

නඩුව අද (28) අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයේදී කැඳවීමට නියමිතය.

බරපතළ තුවාල ලැබූ තිදෙනකු රෝහල්ගත කර තිබියදී රියදුරා මුදා හැර ඇති අතර දිගින්-දිගටම අදාළ රෝගීන් රෝහලෙන් හැකි ඉක්මනින් පිට කිරීමේ උත්සාහයක්ද ක්‍රියාත්මක වන බව වැඩිදුරටත් වාර්තා වේ.