පෙරේදා (06) පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී සංචාරක ඇමති හරීන් ප්‍රනාන්දු සහ මහජන ආරක්ෂක ඇමති ටිරාන් අලස් අතර උණුසුම් මත ගැටීමක් සිදු වූ බව අනාවරණය කර තිබේ.

විශාල මූල්‍ය අපරාධයක යෙදෙමින් සංචාරක වීසා නිකුත් කිරීමේ කටයුතු විදේශ සමාගමකට බාර දී ඇති බවට සාධාරණ සැකයක් සමාජයේ ඇති වී තිබීම මූලික කර ගෙන එම ඇමතිවරු දෙදෙනා අතර වාග් සංග්‍රාමය හට ගෙන තිබේ. මේ පිළිබඳව අද (08) ලංකාදීප පුවත්පත පමණක් වාර්තා කර ඇති අතර දෙමළ භාෂාවෙන් පළ කෙරෙන පුවත්පත් වැඩි දුරටත් හෙළි කර තිබෙන්නේ හරීන් ප්‍රනාන්දු වෙනත් අමාත්‍යංශයක් ඉල්ලා ඇති බව ය. අදාළ මත ගැටීම එතරම් ම දුරදිග ගොස් ඇති බවත් සංචාරක ඇමතිවරයා ලෙස තමන් මේ දක්වා ඉටු කළ කාර්යභාරය මෙම වීසා මගඩිය නිසා මුලුමනින්ම බිඳ වැටීමට ඉඩ ඇති බවට අනතුරු අඟවා ඇති බවත් එම වාර්තාවලින් හෙළිකර තිබේ.

ලංකාදීප වාර්තා කර තිබෙන්නේ හරීන් ප්‍රනාන්දු ඇමති ධුරයෙන් ඉල්ලා අස්වන බව තරයේ ප්‍රකාශ කර ඇති බව ය. එම වාර්තා අනුව පැහැදිලි වන්නේ එම කැබිනට් ඇමතිවරු දෙදෙනා අතර දැඩි විරසකයක් අලුතින් හට ගෙන ඇති බවයි.