විශ්‍රාමික ජනාධිපතිවරුන්ට සහ පාර්ලිමේන්තුවේ මැති ඇමතිවරුන්ට පිරිනමන වරප්‍රසාද කප්පාදු කළ යුතු බවට වර්තමානයේ සමාජය තුළ මතයක් නිර්මාණය වී තිබේ.

විශ්‍රාමික ජනාධිපතිවරුන්ට සහ පාර්ලිමේන්තු මැති ඇමතිවරුන්ට හිමි වන වරප්‍රසාද තමන් බලයට පත්වීමෙන් පසුව කප්පාදු කිරීමට පියවර ගන්නා බවට ජාතික ජන බලවේගය ඉකුත් ජනාධිපතිවරණය සමයේ ජනතාවට ප්‍රතිඥාවක් දී තිබිණි.

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා වශයෙන් තේරී පත්වීමෙන් පසුව එම වරප්‍රසාද කප්පාදු කිරීමට අදාළ යෝජනාව අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළේ ය.

ඒ අනුව, මෙම වරප්‍රසාද කප්පාදු කිරීම සඳහා ගත යුතු නීතිමය ක්‍රියාමාර්ග තීන්දු කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායකගේ නායකත්වයෙන් යුත් අමාත්‍ය මණ්ඩලය විසින් කමිටුවක් ද පත්කරනු ලැබී ය.

විශ්‍රාමික ජනාධිපතිවරුන්ට, ඇමතිවරුන්ට සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබා දී තිබෙන වරප්‍රසාද කප්පාදු කළ හැක්කේ කෙසේ ද?

ඒ පිළිබඳව පවතින නීතිමය තත්ත්වයන් මොනවා ද යන්න මෙම ලිපිය මගින් සාකච්ඡා කෙරේ.

විශ්‍රාමික ජනාධිපතිවරුන්ට හිමි වන වරප්‍රසාද මොනවා ද?

විශ්‍රාමික ජනාධිපතිවරුන්ට හිමි වන වරප්‍රසාද පිළිබඳව 1986 අංක 04 දරන ජනාධිපතිවරුන්ගේ හිමිකම් පනත යටතේ දක්වා ඇතැයි නීතිපති දෙපාර්තමේන්තුවේ හිටපු ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් හා ජනාධිපති නීතිඥ ප්‍රියන්ත නාවාන ප්‍රකාශ කළේ ය.

“මේ පනතේ සඳහන් කර තිබෙනවා, ජනාධිපතිවරයාගේ ධූරය අවසන් වීමෙන් පසුව හෝ ඔහු මිය ගිය පසු ඔහුගේ වැන්දඹුවට හිමි වන වරප්‍රසාද හා පහසුකම් මොනව ද? කියලා. ඒ අනුව මේ පනත යටතේ ජනාධිපතිවරයෙක් විශ්‍රාම ගිය පසුව ඔහුට දීමනාවක් හිමි වෙනවා. ඊට අමතරව වාසය කිරීම සඳහා ඔහුට නිවසක් ලබා දිය යුතු බවත් පනතේ සඳහන් වෙනවා. එසේ නිවසක් ලබා නොදෙන්නේ නම් ඔහු ලබන දීමනාවෙන් තුනෙන් එකක් කුලිය වශයෙන් ලබා දිය යුතු යි. ඊට අමතරව ලේකම්වරයෙකු තබා ගැනීම සඳහා දීමනාවක් හිමිවෙනවා,” යනුවෙන් හිටපු ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල්වරයා සඳහන් කළේ ය.

විශ්‍රාමික ජනාධිපතිවරුන්ට ආරක්ෂක නිලධාරීන්, වෛද්‍යවරුන්, සූපවේදීන්, ගිලන් රථ ලැබෙනවා ද?

විශ්‍රාමික ජනාධිපතිවරුන්ට ආරක්ෂක නිලධාරීන් සැපයීම, රථ වාහන, ගිලන් රථ සූපවේදීන් හා වෛද්‍යවරුන් සපයා දීම සම්බන්ධයෙන් වර්තමානයේ මතභේදාත්මක තත්ත්වයක් උද්ගතව තිබේ.

මෙහි නීතිමය තත්ත්වය පැහැදිලි කළ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ හිටපු කොමසාරිස්වරයෙකු මෙන්ම ජැමෙයිකා තාක්ෂණ විශ්වවිද්‍යාලයේ හිටපු ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මහාචාර්ය ප්‍රතිභා මහානාමහේවා පැවසුවේ, “විශ්‍රාමික ජනාධිපතිවරුන්ට හිමි වරප්‍රසාද මොනවා ද? යන්න පැහැදිලි කර තිබෙන්නේ, 1986 අංක 4 දරන ජනාධිපතිවරුන්ගේ හිමිකම් පනත යටතේ. එම පනත යටතේ විශ්‍රාමික ජනාධිපතිවරුන්ට ලබාදිය යුතු ආරක්ෂක භටයින් සංඛ්‍යාව කොපමණ දැයි දක්වා නැහැ. ඒ නිසා ආරක්ෂාව සැපයීම යන කරුණ අදාළ පනතට පිටින් තිබෙන කරුණක්. ඒ පිළිබඳව පනතේ කිසිවක් සඳහන් කර නැති,” බව ය.

“ඔබ දන්නවා පසුගිය දශක කිහිපය තුළ ශ්‍රී ලංකාවේ යුදමය තත්ත්වයක් පැවතුණා. එවැනි අවස්ථාවල එක් එක් ජනාධිපතිවරයාට පවතින තර්ජනවල ස්වභාවය පිළිබඳව සමාලෝචනයක් කර ආරක්ෂක අමාත්‍යාංශය හෝ ආරක්‍ෂක මණ්ඩලය විසින් අවශ්‍ය ආරක්ෂක භටයින් සංඛ්‍යාවක් හා වාහන ලබාදී තිබුණා. තර්ජනවල ස්වභාවය අනුව ලබා දෙන භටයින් හා වාහන සංඛ්‍යාව වෙනස් විය හැකි යි. එහෙත් විශ්‍රාමික ජනාධිපතිවරුන්ට ගිලන් රථ, සූපවේදීන් හා වෛද්‍යවරුන් සැපයීම සම්බන්ධයෙන් අදාළ පනතේ කිසිවක් සඳහන් වන්නේ නෑ. ඒවා ලබාදී තිබුණේ කලින් කලට අමාත්‍ය මණ්ඩලය ගන්නා තීරණවලට අනුව යි,” යනුවෙන් මහාචාර්ය ප්‍රතිභා මහානාමහේවා වැඩිදුරටත් සඳහන් කළේ ය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට වරප්‍රසාද හිමි වන්නේ කුමන නීතියක් යටතේද?

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට වරප්‍රසාද හිමි වන නීතිමය තත්ත්වය පිළිබඳව ආචාර්ය ප්‍රතිභා මහනාමහේවා කරුණු පැහැදිලි කළේ ය.

“පාර්ලිමේන්තු බලතල හා වරප්‍රසාද පනත යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට හිමි වරප්‍රසාද මොනවා දැයි පැහැදිලි කර තිබෙනවා. ඒ යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු සභා ගැබ තුළ සිදුකරන ප්‍රකාශයවලට එරෙහිව නඩු පැවරීමට නොහැකි බව එම පනතේ දක්වා තිබෙනවා. එසේ ම පාර්ලිමේන්තු රැස්වීම් සඳහා පැමිණෙන අවස්ථාවේදී මන්ත්‍රීවරයෙකු අත්අඩංගුවට ගැනීමට නොහැකි බවත් එහි දක්වා තිබෙනවා.

ඊට අමතරව, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නිල කටයුතු බාධාවකින් තොරව ඉටු කිරීමට ආධාර වන නීතිමය ප්‍රතිපාදන කීපයකුත් එම පනතට ඇතුළත් වෙනවා,” යනුවෙන් පැවසුවේ ය.

ඊට අමතරව, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට හිමි දීමනා සහ විශ්‍රාම වැටුප් හිමි වන ආකාරය 1977 අංක 01 දරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම දීමනා පිළිබඳ පනත යටතේ දක්වා ඇතැයි ආචාර්ය ප්‍රතිභා මහානාමහේවා සඳහන් කළේ ය.

“මේ පනත තුළින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට හිමි දීමනා පිළිබඳව පැහැදිලි කර තිබෙනවා. එසේ ම පාර්ලිමේන්තුවක් රැස්වී වසර පහක කාලයක් සම්පූර්ණ කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට විශ්‍රාම වැටුපක් හිමි වන බවත් එම පනතේ දක්වා තිබෙනවා. එහෙත්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ආරක්ෂක භටයින් ලබාදීම, තීරු බදු රහිත වාහන බලපත්‍ර ලබාදීම, දුරකතන හා තැපැල් ගාස්තු ලබාදීම ඇතුළු දැනට ලබා දෙන අනෙකුත් වරප්‍රසාද පිළිබඳව එම පනතේ සඳහන් වන්නේ නැහැ. එවැනි වරප්‍රසාද මන්ත්‍රීවරුන්ට ලබා දී තිබෙන්නේ ඒ ඒ අවස්ථාවල රජය විසින් ගනු ලබන තීරණ මතයි. ඒවා නීතියෙන් හිමිවන වරප්‍රසාද නොවේ,” යනුවෙන් ආචාර්ය මහානාමහේවා පැවසීය.

මෙම වරප්‍රසාද කප්පාදු කළ හැක්කේ කෙසේ ද?

මෙම වරප්‍රසාද කප්පාදු කළ හැක්කේ කෙසේ දැයි කරුණු පැහැදිලි කළ හිටපු ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජෙනරාල් ප්‍රියන්ත නාවාන මෙසේ පැවසීය.

“ධූරය අවසන් කළ ජනාධිපතිවරුන්ට මේ වරප්‍රසාද හිමි වී තිබෙන්නේ පාර්ලිමේන්තුවේ සම්මත කළ පනතක් තුළින්. ඒ අනුව වරප්‍රසාද වැඩි කිරීම, අඩු කිරීම, කප්පාදු කිරීම සිදුකළ හැක්කේ එම පනතට සිදුකරන සංශෝධන හරහා පමණ යි. ඊට අමතරව එම පනත අහෝසි කිරීමටත් හැකියාව තිබෙනවා. එම වරප්‍රසාද කප්පාදු කරන්නේ නම් එය සිදු කළ යුතු ආකාරය තීරණය කිරීම සඳහා ජනාධිපතිවරයා විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ.ටී. චිත්‍රසිරිගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත්කර තිබෙනවා. එම කමිටුව මෙම කාරණය පිළිබඳව අධ්‍යයනය කර අදාළ සංශෝධන සිදු කළ යුතු ආකාරය ගැන නිර්දේශ ඉදිරිපත් කිරීමට නියමිත යි.

මා විශ්වාස කරන ආකාරයට මේ වගේ සංශෝධනයක් පාර්ලිමේන්තුවේ සරල බහුතර ඡන්දයකින් සම්මත කරගත හැකි යි. එහෙත් මෙවැනි පනත් සංශෝධනයක් සිදු කිරීමට පෙර ඊට අදාළ පනත් කෙටුම්පතක් රජය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු යි. එසේ පනත් කෙටුම් පත ඉදිරිපත් කිරීමෙන් පසුව එහි නීත්‍යනුකූලභාවය පිළිබඳව අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සම් ඉදිරිපත් කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පුරවැසියන්ට හා ඉන් අගතියට පත්වන පාර්ශවයන්ට හැකියාව තිබෙනවා. ඒ ආකාරයෙන් පෙත්සම් ඉදිරිපත් කළ විට අදාළ පනත් කෙටුම්පතේ ව්‍යවස්ථානුකූලභාවය පරීක්ෂා කර නිගමනයක් ඉදිරිපත් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයට බලය පැවරී තිබෙනවා. එවැනි අවස්ථාවක අදාළ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ සරල බහුතර ඡන්දයකින් සම්මත කළ හැකි ද? එසේත් නැතිනම් ඒ සඳහා විශේෂ බහුතර ඡන්දයක් ලබාගත යුතු ද? යනුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දෙන නිගමනය පදනම් කරගෙන අදාළ පනත් කෙටුම්පත සම්මත කළ හැකියි,” යනුවෙන් හිටපු ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් ප්‍රියන්ත නාවාන ප්‍රකාශ කළේ ය.

දැනට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට හිමි වරප්‍රසාද බොහොමයක් කප්පාදු කිරීමට පියවර ගන්නා බවට වත්මන් රජය ප්‍රකාශ කර තිබේ.

එවැනි ක්‍රියාවක් සිදු කිරීමට පෙර අනුගමනය කළ යුතු නීතිමය ක්‍රියාමාර්ග කවරේ දැයි ආචාර්ය ප්‍රතිභා මහනාමහේවා පැහැදිලි කළේ ය.

“පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට හිමි දීමනා, විශ්‍රාම වැටුප් කප්පාදු කරන්නේ නම් ඊට අදාළ නීති සංශෝධනය කළ යුතු යි. ඒ අනුව 1977 අංක 01 දරන පාර්ලිමේන්තු මන්ත්‍රී විශ්‍රාම වැටුප් පනතට රජය සුදුසු සංශෝධන එක් කළ යුතු යි. එවැනි සංශෝධනයක් පාර්ලිමේන්තුවේ සම්මත කිරීම හරහා අදාළ වරප්‍රසාද ඉවත් කළ හැකි යි. එවැනි පනත් සංශෝධනයක් පාර්ලිමේන්තුවේ සාමාන්‍ය සරල බහුතර ඡන්දයෙන් සම්මත කරන්න පුළුවන්,” යනුවෙන් ආචාර්ය ප්‍රතිභා මහනාමහේවා වැඩිදුරටත් සඳහන් කළේ ය.

(BBC සිංහල සේවය)