ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් වැඩබලන පොලිස්පති ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය පත් කර තිබේ.

ඊට අදාළ පත්වීම් ලිපිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක විසින් අද (27) ජනාධිපති කාර්යාලයේ දී ඔහු වෙත පිළිගන්වා තිබේ.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය, වසර 158ක පොලිස් ඉතිහාසය තුළ පොලිස් කොස්තාපල්වරයකු ලෙස සේවයට එක්වී පොලිස්පති ලෙස පත්වීම් ලද එකම නිලධාරියා වන්නේය.

කොළඹ විශ්වවිද්‍යාලයේ නීතිවේදී උපාධිධාරියෙක් වන ඔහු ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ නීතිඥවරයකු වශයෙන් දිවුරුම් දීමෙන් පසු සහකාර පොලිස් අධිකාරිවරයෙක් ලෙස උසස්වීම් ලැබීය.

මානව සම්පත් කළමණාකරණය පිළිබඳ ව්‍යාපාර පරිපාලනවේදී උපාධියද ඔහු ලබාගෙන ඇත.

පොලිස් දෙපාර්තමේන්තුව තුළ වසර 36ක නිකැලැල් සේවයක් සපුරා ඇති ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය සේවය අගයීම සදහා පොලිස්පතිවරුන් දස දෙනෙකුම ප්‍රශංසා ලිපි නිකුත් කොට තිබීම සුවිශේෂී කරුණකි.

පොලිස් අපරාධ හා රථවාහන දිශාව භාර නියෝජ්‍ය පොලිස්පති ලෙස හා පොලිස් සැපයුම් අධ්‍යක්ෂ ලෙසද සේවය කොට ඇති ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය නැගෙනහිර ටිමෝරය සහ හයිටි රාජ්‍යයේද එක්සත් ජාතීන්ගේ සාම සාධක කටයුතු සඳහා එක්ව සිට ඇත.

වැඩ බලන පොලිස්පතිවරයා ලෙස පත් කිරීම් සිදුකරන විට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය උතුරු මැද පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙස රාජකාරියේ නිරතව සිටියේය.