ජනාධිපති මාධ්‍ය ඒකකයේ (President Media Division – PMD) කටයුතු සම්බන්ධයෙන් දිගින් දිගටම බරපතල චෝදනා එල්ල වෙමින් පවතී. ඒ ජනාධිපතිවරයා විසින් පසුගිය කාලය පුරා සිදු කළ කටයුතු පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ කටයුතු වෙනුවෙන් නතා බදු මුදල් වැය කර පවත්වාගෙන යන මෙම ඒකකය අදාල රාජකාරි ඉටු නොකළ බවට වන චෝදනාව ප්‍රධාන තැනක් ගනී. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් මීට පෙර ද ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක විසින් පාර්ලිමේන්තුවේ ප්‍රකාශයක්ද කළ අතර, මේ වන විට ඒ සම්බන්ධ තවත් තොරතුරු අනාවරණය වෙමින් පවතී.
වාර්තා වන පරිදි රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධුරය භාර ගැනීමෙන් පසු ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහා සුදුසු පිරිස් විවිධ පාර්ශව වෙතින් යෝජනා වී ඇත. කෙසේ වෙතත් ඉදිරිපත් වූ සියලු ඉල්ලීම් පසෙකලා,
ජනාධිපති මාධ්‍ය අධ්යක්ෂ ජනරාල් ධූරයට ධනුෂ්ක රාමනායක පත් කෙරිණි. ධනුෂ්ක රාමනායක යනු ජාතික හෙළ උරුමයේ හිටපු මහරගම නාගරික මන්ත්‍රිවරයකු මෙන්ම පාඨලී චම්පික රණවකගේ මාධ්‍ය කටයුතු සිදුකරමින් සිටි උග්‍ර සිංහල බෞද්ධ ජාතිවාදියකි. ඔහුගේ නම ජනාධිපතිවරයා වෙත යෝජනා කර ඇත්තේ එජාප මන්ත්‍රී වජිර අබේවර්ධන විසිනි.
ඒ අනුව ධනුෂ්ක රාමනායක ජනාධිපති මාධ්‍ය අධ්යක්ෂ ජනරාල් ධූරයේ වැඩ භාරගත්තේය. එසේම මේ වන විට 150කට අධික කාර්ය මණ්ඩලයක් ද 14 දෙනෙකුගෙන් යුත් අධ්යක්ෂ මණ්ඩලයක් ද ජනාධිපති මාධ්‍ය ඒකකය යටතේ සේවයේ නියුක්තව සිටින අතර, මෙම දැවැන්ත සේවක මණ්ඩලයේ නාම ලේඛනය අනුර දිසානායක විසින් පාර්ලිමේන්තුවේ සභාගත කර ඇත. මෙම අධ්‍යක්ෂකවරු 14 දෙනාගෙන් 6 දෙනෙකු හැර අනෙක් 8 දෙනාම රාමනායකගේ අන්තේවාසිකයින් සේ කටයුතු කරන, ධනුෂ්ක රාමනායක විසින් යෝජනා කර අධ්යක්ෂ ධූරය ලබා දුන් අයය. එසේම මාධ්‍ය අංශයේම නියෝජ්‍ය අධ්‍යක්ෂකවරු හා සහකාර අධ්‍යක්ෂකවරු ද බහුතරයක් ද ධනුෂ්ක රාමනායක විසින් යෝජනා කර පත් කරගත් අය වීම විශේෂත්වයකි.
ජනාධිපති මාධ්‍ය ඒකකයේ කාර්යය
ජනාධිපති මාධ්‍ය අංශයේ ප්‍රධාන කාර්යභාරය වන්නේ, ජනාධිපතිවරයාගේ දැක්ම, ක්‍රියාමාර්ග, තීරණ, ප්‍රකාශ ඒ අයුරින්ම හා ක්ෂණිකව මාධ්‍ය හරහා සමාජගත කිරීමයි. එසේ උවද ගත වූ වසර එකහමාරක කාලය පුරාවට ධනුෂ්ක රාමනායකගේ මාධ්‍ය නඩය විසින් එකී කාර්යය වගකීම් සහගතව සිදුකර නැත. මාධ්‍ය වෙත නිකුත් කරනු ලබන ජනාධිපතිවරයාගේ ඡායාරූප සම්බන්ධයෙන් අවස්ථා ගණනාවකදීම චෝදනා එල්ල වී ඇති අතර, මාධ්‍ය හරහා ජනගත කිරීමට නුසුදුසු මට්ටමේ ඡායාරූප මාධ්‍ය වෙත ලබා දෙන බවට බොහෝ පිරිස් චෝදනා කර ඇත. විශේෂයෙන්ම එක්සත් ජාතික පක්ෂ සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් ගණනාවක් මේ සම්බන්ධයෙන් චෝදනාත්මකව කරුණු දක්වා ඇතත් මේ වන තුරුත් ඒ සම්බන්ධයෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් නොගැනීම ගැන මෙම සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් දැඩි කළකිරීමකට පත්ව සිටී. ඔවුන් චෝදනා කර ඇත්තේ ජනාධිපති මාධ්‍ය ඒකකය හරහා නිකුත් කරනු ලබන ඡායාරූප පළ කිරීමට නුසුදුසු මට්ටමේ ඡායාරූප බවත්, වෙනත් මාධ්‍ය විසින් ජනාධිපතිවරයාගේ සුදුසු ඡායාරූප පළ කරන බවත්ය.
මෙයට අමතරව බරපතලම චෝදනාව එල්ල වී ඇත්තේ ජනාධිපතිවරයා විසින් සිදු කරන ප්‍රකාශ හා එහි අඩංගු කරුණු ධනුෂ්ක රාමනායක විසින් සංස්කරණය කරන බවයි. මෙම චෝදනාව එල්ල කරන පිරිස් පවසා ඇත්තේ ධනුෂ්ක රාමනායක විසින් ජනාධිපතිවරයාගේ ප්‍රතිරූපය ඉහළ නංවන බව පවසමින් සංස්කරණය කරන මෙම කරුණු හරහා ඔහු ඔහුගේ ප්‍රතිරූපය හා ඉදිරි දේශපාලන ඉලක්ක සපුරා ගැනීම වෙනුවෙන් සිදු කරන බවයි.
මෙයට අමතරව එල්ල වන තවත් ප්‍රධානතම චෝදනාවක් වන්නේ ධනුෂ්ක රාමනායක විසින් ජනාධිපතිවරයාගේ සහභාගීවීම්වලට අදාල මාධ්‍ය ප්‍රකාශ හිතාමතා පමා කිරීමයි. ජනාධිපති මාධ්‍ය ඒකකය විසින් පළ කළ යුතු නිවේදන හා පුවත් මාධ්‍ය ඒකකය මගින් නිකුත් කරනු ලබන්නේ අනෙකුත් මාධ්‍යවල අදාල පුවත පළවීමෙන් පසුවය. ආසන්නතම සිදුවීම ලෙස පාලිත තෙවරප්පෙරුම මහතාගේ අවමංගල්‍ය වෙනුවෙන් ජනාධිපතිවරයා දහවල් සහභාගී වී ඇති අතර, එයට අදාල මාධ්‍ය නිවේදනය හා ඡායාරූප ජනාධිපති මාධ්‍ය අංශය විසින් නිකුත් කර ඇත්තේ සවස 6 පමණ වෙද්දිය. මේ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් ජනාධිපති මාධ්‍ය ඒකකය වෙත බරපතල චෝදනා එල්ල කර ඇති නමුත් ඒ සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු පියවරක් නොගැනීම විමතියට කරුණක් බව එම සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් යළි යළිත් දෝෂාරෝපණය කර ඇත.
එසේම ජනාධිපතිවරයාගේ අලුත් අවුරුදු පනිවිඩය පවා සංස්කරණය කර ඇති බවත්, අලුත් අවුරුදු පනිවිඩයේ සඳහන් කර ඇත්තේ රනිල් වික්‍රමසිංහ මහතාගේ දේශපාලන දර්ශනය නොවන බවට ද එජාපයට සම්බන්ධ සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් චෝදනා කර ඇත. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගැනීම වෙනුවෙට මේ වන විට ජනාධිපතිවරයාගේ එම අලුත් අවුරුදු පනිවිඩය ජනාධිපති මාධ්‍ය අංශයේ වෙබ් අඩවියෙන් හා සමාජ මාධ්‍ය ගිණුම් තුළින් ඉවත් කිරීම පමණක් සිදු කර ඇත. මෙය සටහන් කරන මොහොතේ ද ජනාධිපති නිල මාධ්‍ය ගිණුම් කිසිවක ජනාධිපතිවරයාගේ අලුත් අවුරුදු පනිවිඩය ඇතුළත්ව නැති අතර, මෙම අලුත් අවුරුදු පනිවිඩය සමාජ මාධ්‍ය ගිණුම්වලින් හා වෙබ් අඩවිවලින් ඉවත් කිරීමට මැදිහත් වී ඇත්තේ ද ධනුෂ්ක රාමනායක බව වාර්තා වේ.
තවද පසුගිය දා මාධ්‍ය වෙත යොමු කළ පුවත් වාර්තාවකට අනුව මැදකොළඹට එජාප සංවිධායකයෙක් නම්කොට තිබුණේ ද රාමනායකගේ දැනුවත්භාවය මත බව වාර්තා වේ. අපගේ දැනුවත්භාවයට අනුව මැදකොළඹ එජාප සංවිධායකයා වන්නේ වත්මන් ජනපති රනිල් වික්‍රමසිංහය. ඒ අනුව එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් ගතයුතු තීන්දුවක් ඊට පෙර රාමනායක විසින් ගෙන ප්‍රසිද්ධ කර ඇත්තේ කාගේ වුවමනාවට ද යන්න පැහැදිලි නැත.
රාමනායකගේ මාධ්‍ය නඩය
“ජනාධිපතිගේ මීඩියා වැඩ ඇර වෙනත් සියලු දේ රාමනායගේ මීඩියා ටීම් එක කරනවා” යනු මාධ්‍ය මිතුරන් අතර මේ වන විට ප්‍රසිද්ධ රහසකි. මාධ්‍ය කටයුතු හැර අන් සියල්ල යන්නෙන් අදහස් වන්නේ කුමක්ද? අප විසින් සොයාගන්නා ලද කරුණුවලට අනුව ජනාධිපති මාධ්‍ය අංශයේ අධ්යක්ෂ ජනරාල් ධූරය දරමින් රාමනායක විසින් සිදුකරමින් සිටින කටයුතු කිහිපයක් කෙටියෙන් මෙසේය.
1. තමන්ගේ නිල බලය භාවිත කරමින් රජයේ හෝ වෙනත් පාර්ශවයන් අතර වන ප්‍රභූන් හා ඉහළ ව්‍යාපාරිකයන් තමන්ගේ පුද්ගලික ගනුදෙනුකරුවන් හෝ හිතවතුන් ලෙස ගොඩනගා ගැනීමට කටයුතු කිරීම.
2. මූල්‍යමය වටිනාකම් සහිත කටයුතු කෙරේ වැඩි නැඹුරුතාවක් දැක්වීම.
3. කොළඹ දිස්ත්‍රික්කය තුළ තමන්ගේ ප්‍රතිරූපය ඉහළ නංවා ගැනීම වෙනුවෙන් විවිධ රාජ්‍ය ආයතන හෝ වෙනත් පාර්ශවයන් සම්බන්ධ කරගනිමින් විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම හා ඒ සඳහා ප්‍රමුඛතාවය ලබා දීම.
මෙසේ සංක්ෂිප්තව දක්වා ඇති ආකාරයට රාමනායක තමන්ගේ පුද්ගලික අවශ්‍යතාවයන් ජනාධිපති මාධ්‍ය අංශයේ පොදු හා ප්රමුඛ කටයුතු ලෙස හුවා දක්වමින් රජයේ සියලු වරප්‍රසාද ලබා ගැනීමද ජනාධිපති මාධ්‍ය ඒකකයේ නිලධාරීන් හා සේවකයන් ඒ කටයුතු සඳහා යොමුකිරීම ද අවශ්‍ය සෑම අවස්ථාවකදීම මාධ්‍ය අංශය විසින් දෛනික සිදුකරන සාමාන්‍ය කටයුතු අඩාල කිරීම හෝ ප්‍රමාද කිරීම මෙන්ම නොසලකා හැරීම ද සිදු කරයි.
ඉහත සඳහන් පළමු කරුණට අදාළ ජනාධිපතිවරයා සම්බන්ධවන බොහෝ හමුවීම් හා සාකච්ඡා සඳහා මාධ්‍ය අධ්යක්ෂ ජනරාල්වරයා ද සහභාගි වීම නිතැතින්ම සිදුවේ. විශේෂයෙන් ව්‍යාපාරික ප්‍රජාව හා ජනාධිපතිවරයා සම්බන්ධවන අවස්ථාවන්හිදී රාමනායකගේ මැදිහත් වීම බොහෝ විට සිදුවන්නකි. එවැනි අවස්ථාවන් සඳහා සහභාගි වන ව්‍යාපාරිකයන් හා හිතවත්කම් ඇතිකරගෙන පළමුව තමන්ගේ පුද්ගලික කටයුතුවලට වාසි සහගත අවස්ථාවක් උදාකරගැනීමට රාමනායක උත්සාහ දරන අතර එසේ නොහැකි යැයි හැඟීයන විට ජනාධිපති මාධ්‍ය අංශයේ යැයි පවසමින් කුමන හෝ කටයුත්තකට මෙකී ව්‍යාපාරිකයන්ගෙන් අනුග්‍රහකත්වය ලබාගැනීමට කටයුතු කරයි. ඒ සම්බන්ධයෙන් ව්‍යාපාරික ප්‍රජාව අතරේ ද අප්‍රසන්නතාවක් මේ වන විට හටගෙන ඇත.
මෙහි දෙවන කරුණ ඉතා වැදගත් ය. මක්නිසාද යත් ධනුෂ්ක රාමනායක යනු ව්‍යාපාරික චින්තනයක් සහිත වූවෙකි. එම නිසාම ඔහු සිදුකරන සෑම කාර්යයකින්ම කිසියම් මුදලක් තමන්ගේ සාක්කුවට දමා ගැනීමට නිරතුරුව උත්සාහ කිරීම ඔහුගේ සහජ පුරුද්දක් කොටගෙන ඇති බැවිනි. මුලින්ම ජනාධිපති මාධ්‍ය අංශයේ කටයුතු සඳහා ඇති කැමරා උපකරණ අවශ්‍ය ප්‍රමාණයට නොමැති බව ඒත්තු ගන්වා ලක්ෂ 70කට අධික වටිනාකමකින් යුත් නවීන කැමරා උපකරණ මිලදී ගැනීමක් සිදුවිය. එහිදීද තම හිතවත් ව්‍යාපාරිකයකු හා සම්බන්ධ වී ටෙන්ඩර් කැඳවීමක් ද නොමැතිව සිදුකළ ගනුදෙනුවේදී විශාල වංචාවක් සිදුකර ඇති බවට පසුගිය කාලයේ මාධ්‍ය වාර්තා පළවී තිබිණි.
එසේම තමන්ගේ සහචර අධ්‍යක්ෂකවරු නමින් ජනාධිපති කාර්යාලයේ වාහන වෙන්කොට ගෙන ඒවා වෙනත් ආයතනවල සේවයේ යොදවා මුදල් ඉපයීමක් ගැන ද වාර්තා විය. මේ කිසිවකට රාමනායක අදටත් කිසිදු ප්‍රතිචාරයක් දක්වා නොමැතිවා සේම ඒ කිසිවක් අදටත් නවත්වා නැති බව ද වාර්තා වේ.
එපමණක් නොව මාධ්‍ය අංශය විසින් සංවිධානය කරනු ලබන කටයුතු ද තමන්ගේ සාක්කුව පුරවා ගැනීමට හැකියාව ඇති වැඩ වීම සුවිශේෂය. ඒ සඳහා ඇතැම් රාජ්‍ය නිලධාරීන් ද සම්බන්ධ වී කටයුතු කරන බවට ද වාර්තා වේ. මේ අතර ප්‍රධාන වශයෙන් කියැවෙන නමක් වන්නේ ජනාධිපති ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් තනතුරේ කටයුතු කරනු ලබන සූධිර නිලංග විතාන නමැත්තාය. සමාජ සුබ සාධන කටයුතු යැයි පවසා විවිධ පාර්ෂවයන් හා සම්බන්ධ වෙමින් අනුග්රහක මුදල් රැස්කර පෝය දින වැඩසටහන්, ආහාර වැඩසටහන්, අවුරුදු උත්සව, කාර්යාලයීය සේවකයන්ට තෑගි ලබාදීම වැනි සමාජ සේවා ලෙස පෙන්විය හැකි කටයුතු සිදුකරනු ලබන අතර ඒ කිසිවක නිවැරදි ආදායම් වාර්තා නොමැති නමුත් වියදම් වාර්තා මනාව සකස් කොට තිබේ. මේ සඳහා අදාල සහයෝගය ලබා දෙනු ලබන්නේ ඉහත කී ජනාධිපති ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් සූධීර නිලංග විතානය.
පසුගිය මාස කිහිපය තුළ ධනුෂ්ක රාමනායක තමන්ගේ නිල බලය භාවිත කරමින් පාසල් සිසුන්ගේ මාධ්‍ය හැකියාව ඔප්නැංවීමට යැයි පවසා පාසල් මාධ්‍ය වැඩමුළු පැවැත්වීමට කටයුතු කර තිබේ. මෙම කටයුත්ත සම්බන්ධීකරණය සිදුකර ඇත්තේ ධනුෂ්ක රාමනායකගේ සහචරයෙකු වන ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂක ස්ටැන්ලි නමැත්තා විසිනි. මෙම කාර්යය සඳහා විවිධ මාධ්‍යවේදී ප්‍රවීණයන් කිහිප දෙනෙකු මුලින් සම්බන්ධ කරගෙන තිබූ නමුත් ඔවුන්ට අදාළ ගෙවීම් සිදු නොකිරීම නිසා ඔවුන් මේවන විට අදාළ කටයුත්තට සහභාගි වීම ප්‍රතික්ෂේප කර ඇත. ඒ සඳහා දිවයිනේ විවිධ පාසල්වල මාධ්‍යකරණ හැකියාව සහිත සිසු දරුවන් කොතෙකුත් සිටිය ද රාමනායකට ඒ කිසිවක් අදාළ නැත. ඔහුට අදාළ වූයේ කොළඹ දිස්ත්‍රික්කයේ පාසල්වල සිසුන් පමණි. එයද රාජකීය, ආනන්ද, සිරිමා වැනි ප්රමුඛ පෙළේ පාසල්ය. දුෂ්කර පාසල්වල සිසුන් වෙනුවෙන් නම් මේ කටයුත්ත කිසියම් සාධාරණ බවක් තිබිය හැකිය. නමුත් ලංකාවේ ප්‍රමුඛතම පාසල්වල මාධ්‍යකරණය ඉගැන්වීම ජනාධිපති මාධ්‍ය අංශයේ වැඩක් ලෙස ධනුෂ්ක රාමනායක තීරණය කළේ කුමන හේතුවක් නිසා ද? ඒ අන් කිසිවක් නිසා නොව ඔහුගේ ප්‍රධාන ඉඩක්කය වී ඇත්තේ එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණයේ දී කොළඹ දිස්ත්‍රික්කයෙන් ඉදිරිපත් වීමට අදාල පසුබිම සකසා ගැනීමේ එකම උවමනාව වී ඇති නිසාවෙනි. එසේම තමන්ගේ ව්‍යාපාරික කටයුතු සඳහා එකී පාසල්වලට සම්බන්ධ ගුරුවරු, විවිධ ව්‍යාපාරික හා ප්‍රභූන් හා හිතවත්කම් ඇතිකර ගැනීමේ අවශ්‍යතාවය.
මීට අමතවර ධනුෂ්ක රාමනායක තමන්ගේ සහචර මාධ්‍ය අධ්‍යක්ෂකවරයකු වෙනුවෙන් තවත් කාර්යයකට අතගසා තිබේ. ඒ විවිධ ඡායාරූප ශිල්පීන් විසින් ගන්නා ලද ඡායාරූප ප්‍රදර්ශනයක් සංවිධානය කිරීමට කටයුතු කිරීමය. එයද මුදල් මූලික කරගත් කටයුත්තක් මිස ජනාධිපති මාධ්‍යයට අදාළ හෝ ජනාධිපතිවරයාගේ කටයුතුවලට කුමන හෝ ආකාරයකින් සම්බන්ධ කටයුත්තක් නොවේ.
රාමනායකගේ අවුරුදු කෑම
“වසත් සිරිය 2024“ අවුරුදු උත්සවය 2024 අප්‍රේල් මස 27 දින ගාලු මුවදොර හරිත උද්‍යාන පරිශ්‍රයේ පැවැති අතර, ඒ වෙනුවෙන් නිකුත් කළ ආරාධනා පත්‍රයට අනුව මෙම අවුරුදු උත්සවය සංවිධානය කෙරෙන්නේ ජනාධිපති ලේකම් කාර්යාලයීය සුබ සාධක සංගමයයි.
නමුත් අපට වාර්තා වන පරිදි ජනාධිපති ලේකම් කාර්යාලයීය සුබ සාධක සංගමය මෙම අවුරුදු උත්සවයේ කිසිදු සංවිධාන කාර්යයකට සම්බන්ධ වී නැත. එසේ වුවද ජනාධිපති මාධ්‍ය ප්‍රධානී ධනුෂ්ක රාමනායක සහ ඔහුගේ සහචර ලේකම්වරයා වූ සුධීර නිලංග විසින් අදාළ අවුරුදු උත්සවය වෙනුවෙන් ලැබෙන ආධාර මුදල්වලට අදාළ චෙක්පත් මෙම සුබ සාධක සංගමය නමින් ලබා ගෙන ඇත. පසුව එම චෙක්පත් සුබ සාධක සංගමයේ ගිණුමට තැන්පත් කරන අතර, සුබ සාධක සංගමය විසින් කළ යුතුව ඇත්තේ අදාළ චෙක්පත් මාරු කර එම මුදල් ධනුෂ්ක රාමනායක වෙත ලබාදීමය. ඒ අනුව ධනුෂ්ක රාමනායකගේ සහ සහචර ලේකම්වරයාගේ වුමනාවට වසත් සිරියේ සංවිධායක නමින් පෙනී සිටින ජනාධිපති කාර්යාලයීය සුබ සාධක සංගමයට සිදුව ඇත්තේ මුදල් හුවමාරු මධ්‍යස්ථානයක් ලෙස කටයුතු කිරීමට පමණි.
ජනාධිපති කාර්යාලයීය සුබ සාධක සංගමය බිල්ලට දී රාමනායකගේ සහචර අධ්‍යක්ෂකවරයකු වන යසිරු නැමැත්තා විසින් මේ වසත් සිරිය ඕගනයිස් කර තිබේ. යසිරු නැමැත්තට ජනාධිපති මාධ්‍ය අංශයේ කිසිදු කාර්යයක් නොමැති අතර ඔහු පත්කොට ඇත්තෙම රාමනායකගේ මනදොල පුරවන උත්සව සංවිධානය කිරීම වෙනුවෙන් බව වැඩිදුරටත් වාර්තා වේ.
මෙම අවුරුදු කෑමට අදාළව තවත් බරපතල වාංචනික සිදුවීමක් මෙසේය. 2024 අවුරුදු උත්සවය වෙනුවෙන් වැයකිරීම සඳහා අවශ්‍ය මුදල් ධනුෂ්ක රාමනායක විසින් සුබසාධක සංගමයේ ගිණුමේ ඒ වන විට පැවැති මුදල් පසුව ගෙවීමේ පදනම මත ලබා ගැනීමයි. ධනුෂ්ක රාමනායක විසින් ඉල්ලා ඇති මුදල් ප්‍රමාණය සුබසාධක සංගමයේ ගිණුමේ තිබී නොමැති අතර, සුබසාධක සංගමයේ නිලධාරීන් විසින් සිදු කර ඇත්තේ සුබසාධක සංගමයේ ස්ථාවර තැන්පතුවක් ඇපයට තබා ලංකා බැංකුව තැප්‍රොබේන් ශාඛාවෙන් ලක්ෂ 40ක ණය මුදලක් ලබා ගැනීමය. මෙම ණය මුදල ලබා ගැනීමට අදාල පොලී මුදල ඇතුළු සමස්ත ණය අනුග්රාහකයින්ගෙන ලැබෙන චෙක්පත් හරහා පියවීමේ පොරොන්දුව මත ධනුෂ්ක රාමනායක විසින් මෙම මුදල් ලබා ගෙන ඇත. කෙසේ වෙතත් මේ මොහොත වන විටත් අදාල මුදල සම්පූර්ණයෙන්ම පියවා නොමැති අතර, සුබසාධක සංගමයේ ගිණුම් පරිහරණ නිලධාරීන් මේ හේතුවෙන් බලවත් අපහසුතාවය පත්ව ඇති බවත් වාර්තා වේ.
එසේම වසත් සිරිය වෙනුවෙන් ද පෙර කී පරිදි ජනාධිපතිවරයා සම්බන්ධ වූ ව්‍යාපාරික හමුවලදී තමන්ගේ නිලබලය මත ධනුෂ්ක රාමනායක ඇති කරගත් සුහදතාවන් භාවිතා කොට ඇති අතර, ඔවුන්ගෙන් විවිධ අනුග්රහක දායකත්වයන් ලබාගෙන තිබේ. මේ සඳහා ධනුෂ්ක රාමනායක විසින් රුපියල් මිලියන 100කට අධික අයවැයක් ඉදිරිපත් කර ඇති නමුත්, ඒ සම්බන්ධ කිසිදු විනිවදභාවයකින් කටයුතු කර නොමැති බව වාර්තා වේ.
මේ වසත් සිරිය උත්සවය ගැන අප කළ සොයා බැලීමේ දී වාර්තා වූයේ ජනාධිපති මාධ්‍ය අංශයේ කැමරා උපකරණ ප්‍රමාණවත් නොවන බව පවසා බාහිර පාර්ශවයන් වෙතින් කැමරා කණ්ඩායමක් මේ සඳහා සම්බන්ධ කරගැනීමට කටයුතු කර ඇති බවයි. මෙම කැමරා කණ්ඩායම හිටපු ජනාධිපති ගෝඨාභයගේ “ගමසමඟ පිළිසඳර” සඳහා ජනාධිපති මාධ්‍ය ඒකකය විසින් සම්බන්ධ කර ගත් පිරිස වීම සුවිශේෂී කරුණකි. ඒ කසුන් ජයවර්ධනගේ කැමරා කණ්ඩායමය. ඔවුන් ධනුෂ්ක රාමනායකගේ වසත් සිරියට සම්බන්ධීකරණය සිදුකොට ඇත්තේ, ජනාධිපති මාධ්‍ය ඒකකයේ කැමරා අංශයේ සහකාර අධ්යක්ෂවරයකු විසිනි. මෙම කැමරා කණ්ඩායමේ එක් කැමරාකරුවෙකු වෙනුවෙන් රුපියල් 50,000ක ගෙවීමක් ලබාදීමට ද ධනුෂ්ක රාමනායක පොරොන්දු වී තිබේ. එසේම එදින රාත්‍රි සංගීත ප්‍රසංගයට සම්බන්ධවන සංගීත කණ්ඩායම වෙනුවෙන් වියදම ලෙස ලක්ෂ 22ක මුදලක් දක්වා ඇත. එය කිසිසේත් පිළිගත හැකි මුදලක් නොවන බවට ඇතැමුන් චෝදනා කරයි. ලංකාවේ ජනප්‍රියම සංගීත කණ්ඩායමක් වුවද රුපියල් ලක්ෂ 10කට 12කට ගෙන්වා ගත හැකි වාතාවරණයක රාමනායක ලක්ක 22ක් සංගීත කණ්ඩායමට දෙන බව කියන්නේ ඉන් වැඩි පංගුවක් තමන්ගේ සාක්කුවට දා ගැනීමට නොවේද?
ඊට අමතරව ගායක ගායිකාවන් සඳහා ද මිලියන තුනකට අධික මුදලක් වෙන් කොට වාර්තා පෙන්වා ඇති නමුත් එම ගායක ගායිකාවෝ තමන්ගේ නමට රාමනායක විසින් වෙන් කළ මුදල් ප්‍රමාණය ගැන නොදන්නවාට සැකයක් නැත. රාමනායකගේ වසත් සිරියේ කූඨ ගනුදෙනු සිදුව ඇත්තේ ඒ ආකාරයටය.
මේ අතර ධනුෂ්ක රාමනායක විසින් සිය මැදිහත්වීම යටතේ ෆොන්ටෙරා ආයතනයෙන් අති විශාල දායකත්වයක් ලබා ගෙන ඇත. ඒ අනුව ඇන්කර් නිව්ඩේල් වර්ගයේ කිරි පැකට් හා ඇන්කර් නිව්ඩේල් යෝගට් ඉතා විශාල ප්‍රමාණයක් ලබා ගෙන ඇත්තේ අලුත් අවුරුදු උත්සවය වෙනුවෙන් පැමිණෙන පිරිස් වෙත ලබා දෙන බව පවසමිනි. මෙම කිරි පැකට් හා යෝගට් ලබා ගැනීම සඳහා ජනාධිපති ලේකම් කාර්යාලයේ නිලධාරීන් වෙත ටෝකන් පත්‍ර ලබා දී ඇතත් නිලධාරීන් පවසා ඇත්තේ තමන්ට එම පහසුකම් ලබා ගැනීම සඳහා ස්ථානයක් සකස් කර නොතිබූ බවත් බොහෝ පිරිසකට එම කිරි පැකට් හා යෝගට් ලබා ගැනීමට නොහැකි වූ බවත්ය. කෙසේ වෙතත් අවුරුදු උත්සවය අවසන් වීමෙන් පසු ධනුෂ්ක රාමනායක සිය සහචරයන් වෙත මෙම කිරිපැකට් හා යෝගට් බෙදා දී ඇති අතර, ඇතැම් පිරිස් යෝගට් 100ක් ඇතුළත් පෙට්ටි කිහිපය බැගින් සිය නිවෙස් වෙත ගෙන ගොස් ඇත. වඩා විශ්මය ජනක සිදුවීම වන්නේ අවුරුදු උත්සවය නිමා වී දින කිහිපයකට පසුත් ඇතැම් නිලධාරීන් නැවත නැවතත් මෙම යෝගට් සහිත පෙට්ටි ගෙන යනු දක්නට ලැබීමයි.
ජනාධිපති මාධ්‍ය අධ්යක්ෂ ජනරාල් ධනුෂ්ක රාමනායකගේ ක්‍රියාකලාපය මෙසේ වන අතර, මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා දැනුවත් නැතැයි සිතීම මුලාවකි. මක් නිසාද යත් ජනාධිපති මාධ්‍ය අංශයේ ක්‍රියාකලාපයන් සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් හා බොහෝ පක්ෂ ක්‍රියාකාරීන් විසින් අවස්ථා ගණනාවකදී චෝදනා ඉදිරිපත් කර තිබීමයි. මෙම ක්‍රියාකාරීන් ජනාධිපතිවරයාගේ සමීපතමින්ට පවා මේ සම්බන්ධයෙන් පැමිණිලි කර ඇතත් මේ වන තුරුත් ඒ සම්බන්ධයෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් නොගැනීම සම්බන්ධයෙන් අදාල පිරිස් බොහෝ කළකිරීමට පත්ව ඇත.
ඔවුන් දිගින් දිගටම චෝදනා කරන්නේ ජනාධිපතිවරයාගේ ප්‍රතිරූපය නංවාලීම පසෙක ලා සිය පුද්ගලික ප්‍රතිරූපය නංවාලීමට කටයුතු කරන ධනුෂ්ක රාමනායකගේ මාධ්‍ය මෙහෙවර සම්බන්ධයෙන් ඉදිරියට කිසිදු විශ්වාසයක් තැබිය නොහැකි බවයි. නොබෝ දිනකින් ජනාධිපතිවරණ සටන කරළියට පැමිණීමට නියමිත අතර, ජනාධිපතිවරණ සටනේදී ජනාධිපතිවරයාගේ ජයග්‍රහණය වෙනුවෙන් ධනුෂ්ක රාමනායක ඇතුළු ඔහුගේ සහචර මාධ්‍ය කණ්ඩායම හරහා කිසිදු සහයෝගයක් නොලැබෙනු ඇති බවට ඔවුන් චෝදනා කර ඇත.
මේ සියලු කරුණු එකිනෙක සැලකීමේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ මාධය අංශ යනු තවදුරටත් මාධ්‍යකරණයේ නැයැළෙන ඒකකයක් නොව රාජ්‍ය දේපල සාහසික ලෙස අවභාවිත කරන, වංචා සහගත ලෙස පුද්ගලික ගිනුම් තරකර ගැනීම වෙනුවෙන් මුදල් එක්රැස් කරන, රාජ්‍ය නිලධාරීන් හා සම්බන්ධ වෙමින් අල්ලස් ගනුදෙනු සිදුකරන තනිපුද්ගලයකුගේ උවමනාවට බිස්නස් කරන කණ්ඩායමකි. ඒ අනුව අදටත් ජනාධිපති මාධ්‍ය අංශයෙන් ඉහළම පුටුවේ කටයුතු කරන මෙවන් කුඨ ක්රියාකලාපයක් සහිත පුද්ගලයකු ජනාධිපති කාර්ය මණ්ඩලයට හෝ ජනාධිපතිවරයාගේ ඉදිරි දේශපාලනයට සිදුකරන මෙහෙය දන්නේ රනිල් සහ ඔහුගේ කාර්ය මණ්ඩලයම පමණි. මේ සම්බන්ධයෙන් සියලු තොරතුරු තහවුරු කරගැනීමෙන් පසු අප වාර්තා කරන්නෙමු. එතෙක් ලොකු සර්ලාගේ ආවරණයෙන් රාමනායකගේ තුප්පහි වැඩටික එලෙසම කරගෙන යන ලෙස මතක් කරමු.
(විශේෂ ලියුම්කරුවෙකු විසින් ලියයි.)