ලොහාන් රත්වත්තගේ බිරිඳට අයත් නිවසක සුඛෝපභෝගී මෝටර් රථයක් සඟවා තිබිය දී, සොයා ගැනීමෙන් පසුව ඒ පිළිබඳ ඉදිරි පරීක්‍ෂණ පැවැත්වීම සඳහා පොලිසියට අවශ්‍ය වී සිටින ලොහාන් රත්වත්තේ සහ ඔහුගේ බිරිඳ වන රශීපබා රත්වත්ත ආ-ගිය අතක් නැතැයි වාර්තා වී තිබේ.

මේ සම්බන්ධයෙන් අද (31දා) නිකුත් කළ ලංකාදීප පුවත් පතෙන් තොරතුරු අනාවරණය කර තිබේ. එහි වැඩි දුරටත් දැක්වෙන්නේ ඔවුන් පාවිච්චි කළ දුරකථන ද විසන්ධි කර ඇති බව ය. මිරිහාන ප්‍රදේශයේ පිහිටි රශීපබා රත්වත්තේට අයත් නිවසේ දී සොයා ගත් සුඛෝපභෝගී මෝටර් රථය නීති විරෝධී ලෙස එකලස් කරන ලද්දක් බව මේ වන විට හෙළි වී තිබේ.

පසුගිය සතියේ සිය දිවි නසා ගත් බව කියන ලොහාන් රත්වත්තේගේ පෞද්ගලික ලේකම් එම මෝටර් රථය රශී පබා රත්වත්තේගේ නිවසේ දමා ගොස් ඇති බවට මෙයට පෙර ප්‍රචාරය කර තිබිණි. මේ අතර, අතුරුදන් වී සිටින මෙම දෙදෙනාගේ ඥාති දියණියක අදාළ නිවසේ ගේට්ටුව විවෘත කොට  දී ඇති බව ද වැඩි දුරටත් හෙළි කර තිබේ. මෙම මෝටර් රථය රජයේ ආයතනයකට අයත් එකක් බව හෙළි වී තිබේ.