ජාතික ජන බලවේගයේ ජාතික විධායක කමිටු සාමාජික කේ. ඩී. ලාල්කාන්ත හට පොලිසිය බාර ඇමති ධුරය ලබා දෙන්නේ දැයි එක්තරා රූපවාහිනී නාලිකාවක හිමිකාරීත්වයේ අවශ්‍යතාවය මත ප්‍රශ්න කිරීමෙන් පැහැදිලි වී තිබෙන්නේ මාලිමාව විශිෂ්ඨ ජයග්‍රහනයක් ලබන බව පිළිගැනීම යැයි දේශපාලන විශ්ලේෂකයන් පෙන්වා දී තිබේ.

ලාල්කාන්ත මේ වනවිට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු පවා නොවන අතර ඔහුට ඇමතිකමක් ලබා දීමට නම් ප්‍රධාන පියවර තුනක දී ජාතික ජන බලවේගය ජයග්‍රහණය කර තිබිය යුතුය. එළඹෙන සැප්තැම්බර් 21 වෙනි දින පවත්වනු ලබන ජනාධිපතිවරණයෙන් එම පක්ෂයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක ජයග්‍රහණය කිරීම, ඉන්පසුව පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජයග්‍රහණය කර ආණ්ඩුව පිහිටුවීම සහ එම මැතිවරණයෙන් ලාල්කාන්ත මන්ත්‍රී ආසනයක් දිනා ගැනීම යන පියවර තුන සම්පූර්ණ විය යුතුය.

ජනාධිපතිවරණය පැවැත්වීමට මාසයකටත් වඩා වැඩි කාලයක් තිබියදී ලාල්කාන්ත වෙත පොලිස් ඇමති ධුරය ලබා දෙන්නේ දැයි ප්‍රශ්න කිරීම තුළ මාලිමාව පෙර කී පියවර තුන ම විශිෂ්ඨ අන්දමින් ජයග්‍රහණය කරන බව එම පක්ෂයට සතු පිල් පවා පිළිගෙන ඇති බව එම විශ්ලේෂකයන් පෙන්වා දී තිබේ.