සති කිහිපයකට පෙර, ශ්‍රී ලංකාවේ නවවෙනි ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක තෝරා පත් කර ගත්තේ සැබෑ, කල්පවත්නා වෙනසක් සඳහා විශාල බලාපොරොත්තු ඇතිව ය. නමුත් සැබෑ වෙනසක් ජනාධිපතිවරයෙකුට තනිව කළ නොහැකි බව අප අවබෝධ කර ගත යුතුය. අපට සැබැවින්ම ජාතියේ අභිවෘද්ධිය දැකීමට අවශ්‍ය නම්, ජනාධිපති අනුරගේ දර්ශනයට සහය දක්වන ශක්තිමත් පාර්ලිමේන්තුවක් ගොඩනැගීමට එළඹෙන මහ මැතිවරණයේදී අපි එක්විය යුතුය. ඔහුගේ දැක්ම වන පොහොසත් රටක් – ලස්සන ජීවිතයක් ගොඩනගා ගත හැක්කේ එවිටය.

මෙය පාර්ලිමේන්තුවේ ආසන පිරවීම පමණක් නොවේ; එඩිතර තීරණ ගැනීමට සහ වේගයෙන් ක්‍රියා කිරීමට හැකි රජයක් ගොඩනැගීමයි. ශ්‍රී ලංකාව හැරවුම් ලක්ෂයක සිටින අතර, අතීතයේ සිට පවතින ආර්ථික හා දේශපාලන ග්‍රහණයෙන් මිදීමට නම්, අපට අවශ්‍ය වන්නේ ජනාධිපතිවරයා සමඟ අත්වැල් බැඳගෙන කටයුතු කරන පාර්ලිමේන්තුවකි.

අප මුහුණ දෙන අභියෝග සඳහා මේ මොහොතේ තීරණාත්මක ක්‍රියාමාර්ග අවශ්‍ය වේ. වෙන කවරදාකටත් වඩා දැන්, සෑම තීරණයක් සම්බන්ධයෙන්ම ජනාධිපතිවරයා සමඟ නිරන්තරයෙන් ගැටෙන හා රටේ ප්‍රගමනයට උදව් වන සැලසුම් හා ප්‍රතිපත්ති අවහිර කරන පාර්ලිමේන්තුවක් මේ අවස්ථාවේ සිටීම යෝග්‍ය නොවේ.

ලස්සන ජීවිතයක් සඳහා වූ ජනාධිපති අනුරගේ දැක්ම

විනිවිදභාවය, වගවීම සහ ආර්ථික ස්ථාවරත්වය අවධාරණය කරන රටක් ගොඩනැගීම සම්බන්ධයෙන් පැහැදිලි සැලැස්මක් ජනාධිපති අනුරට තිබේ. ඔහුගේ දැක්ම අභිලාෂකාමී ය. මේ මොහොතේ අමාරු දේවල් කිරීමට අපි ඔහුගෙන් බලාපොරොත්තු වන්නේත් අන්න ඒ අභිලාෂිකාමිත්වයමය.

ඔහුගේ එම දැක්ම යථාර්ථයක් කර ගැනීම සඳහා අපට අවශ්‍ය වන්නේ ඔහුගේ  ප්‍රතිපත්තිවලට සහාය දැක්වීමට සූදානම් පාර්ලිමේන්තුවක් මිස ප්‍රගතිය ඇනහිටින, බෙදුණු මැතිසබයක් නොවේ. අපි පාර්ශවීය ආරවුල්වලට බාධා කිරීමට ඉඩ දෙන්නේ නම්, නැතිවූ කාලය සඳහා පමණක් නොව, මග හැරුණු සැබෑ ප්‍රගතිය සඳහා වූ මිලද ගෙවීමට අප සූදානම් විය යුතුය..

ශ්‍රී ලංකාවේ මෑත ඉතිහාසයේ සම්මත කල සමහර අනපනත් වගේම අපගේ සංවර්ධනය  පසුබසින ගිවිසුම් සහ එකඟතාවයන් රාශියක් තිබේ.  අපගේ ආර්ථික වර්ධනය සීමා කරන සහ අපගේ ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම්වලට වලකපන ලද ගනුදෙනු පසුගිය පාලනාධිකාරයන් විසින් සිදු කරන ලදී. අනුර දිසානායක ජනාධිපතිවරයා මෙම ගැටලු විසඳීමට ප්‍රතිඥා දී ඇති නමුත් එය ඵලදායී ලෙස කිරීමට නම් ඔහුට තම පැත්තේ සිටින පාර්ලිමේන්තුවක් අවශ්‍ය වනු ඇත. එවැනි රජයකට මෙම හානිකර ප්‍රතිපත්ති ආපසු හැරවීමට, අපේ රටේ අවශ්‍යතා ආරක්ෂා කිරීමට සහ අපගේ ස්වාධීනත්වය ප්‍රතිස්ථාපනය කිරීමට අවශ්‍ය දැඩි ඉල්ලීම් අදාල අංශ වලින් හෝ ආයතන වලින් කිරීමට සානුබලය ඉහලින්ම ලැබෙනු ඇත.

පැරණි බෙදීම් මතම අප ගමන් කරනවාද?

පැහැදිලිවම කිවහොත්, මෙය විපක්ෂය නිශ්ශබ්ද කිරීමක් ගැන නොවේ – එය ශ්‍රී ලංකාවට හොඳම සහ සැබෑ ලෙසම අවශ්‍ය නායකයින් තෝරා ගැනීමේ යුගයේ අවශ්‍යතාවය පිළිබඳවයි. ජනාධිපතිට සහාය දක්වන පාර්ලිමේන්තුවක් යනු සෑම දෙයකටම රබර් මුද්‍රා තැබීම නොවේ; එහි අර්ථය වන්නේ ජනතාවගේ අවශ්‍යතා සහ ජනාධිපතිවරයාගේ දැක්ම සමඟ පෙළගැසෙන ප්‍රතිපත්තිවලට පිටුබලය දීමයි. ප්‍රබල විපක්ෂයකට බලයක් ඇතත් එය ප්‍රගතියට බාධාවක් විය නොහැක. හුදෙක් දේශපාලන වාසි හෝ ප්‍රචාරණ අවකාශය සඳහා මැතිසබය යෝදා ගන්නා දේශපාලකයන් අප ඕනෑ තරම් දැක ඇත. එම චක්‍රයට තිත තැබීමට අපිට ලැබී තිබෙන මෙම අවස්ථාව උපරිමයෙන් ප්‍රයෝජනට ගනිමු.

අපේ රට ප්‍රකෘතිමත් තත්වයට ගෙන ඒමේ මාවත පහසු නොවනු ඇත. නමුත් ඒ සඳහා එකාවන්ව ගොඩනගන ප්‍රවේශය අපට තිබෙන හොඳම බලාපොරොත්තුවයි. අපට පැවරුණු වගකීමේ කොටසේ ප්‍රමාණය ඉහළ මට්ටමක පැවතියත්, මෙම මැතිවරණයේදී අප ගන්නා තේරීම් රටේ අනාගතය හැඩගස්වනු ඇත.

අපට අවශ්‍ය වන්නේ ජනාධිපති අනුරගේ පොහොසත් රටක් -ලස්සන ජීවිතයක් සඳහා වූ සැලැස්මට සහය දෙන පාර්ලිමේන්තුවක් ද, නැතහොත් අපට අවශ්‍ය වන්නේ නිමක් නැති බාධක සහ මග හැරුණු අවස්ථාවන් වලින් පිරි මාවතක ගමන් කිරීමට ද?

අපිට අවශ්‍ය ලස්සන ජීවිතයක් 

ජනාධිපතිවරයාට  විරුද්ධව නොව ජනාධිපතිවරයා සමඟ කටයුතු කිරීමට සූදානම් පාර්ලිමේන්තුවක් පත් කර ගැනීමේ බලය මෙවර අපට ලැබී ඇත. යල් පැනගිය නීති ඉවත් කිරීමට, හානිකර ගිවිසුම් ගැන නැවත සිතා බැලීමට සහ ශ්‍රී ලාංකීය ජාතිය ගොඩනැගීමට මුල් තැන දෙන අනාගතයක් නිර්මාණය කිරීමට කැපවී සිටින නායකයාට මෙවර අපට සහාය විය යුතුය. පක්ෂ හිතවත්කම් පසෙකලා ජනතාවට සැබෑ ලෙසම සේවය කරන රජයක් ගොඩනැගීමට අවධානය යොමු කිරීම මේ මොහොතේ අප වෙත පැවරුණු යුතුකමකි.

දේශපාලනයට වඩා රටේ දැයේ ප්‍රගතිය අගයන, ශ්‍රී ලංකාවේ අභිවෘද්ධිය සඳහා නිවැරැදි තීරණ ගත හැකි පාර්ලිමේන්තුවක් ගොඩනගමු. ජනාධිපති අනුරගේ දැක්ම සමඟ පෙළගැසෙන මැතිසබයක් තෝරා ගැනීමෙන් අපේ රටේ අභියෝග අවස්ථා බවට පත් කර ගනිමු. අප සැම එක්වුවහොත් සැබැවින්ම ශ්‍රී ලංකාව පොහොසත් රටක් බවට පත් කොට රටේ සෑම පුරවැසියෙකුටම ලස්සන ජීවිතයක් උරුමකර දී අපගේ දූ දරුවන්ට බලාපොරොත්තු සහගත රටක් නිර්මාණය කල හැකිය. අප එය මෙවරත් මගහැර ගතහොත්, ගෙවන්නට වන මිල අධික බවද සිහියේ තබාගැණීම වටී.

ශාන්ත ජයරත්න