එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ සහ එයින් බිඳී ගිය සජිත් ප්‍රේමදාස පිල අතර රහසිගත හදිසි සාකච්ඡාවක් ඉදිරි දින දෙක තුළ සිදු කිරීමට සියලු කටයුතු සූදානම් කර ඇති බව අනාවරණය වේ.

සජිත් පිල නියෝජනය කරමින් ලක්ෂ්මන් ෆොන්සේකා සහ රනිල් පිලේ සාගල රත්නායක අතර මේ වනවිටත් සාකච්ඡා වට කිහිපයක් පවත්වා ඇතැයි දේශපාලන ආරංචි මාර්ගවලින් හෙළි වේ. මෙම සති අන්තයේ නිකුත් වන පුවත්පතක දේශපාලන තොරතුරු විශ්ලේෂකයෙකු මේ බව තහවුරු කර ගෙන තිබේ.

රනිල් වික්‍රමසිංහ සමඟ ඍජු සාකච්ඡාවලට සජිත් ප්‍රේමදාස නොපැමිණෙන බවත්, එහෙත් ඔහු වෙනුවෙන් සැලකිය යුතු වගකීම් දැරීමට බලය සහිත නියෝජිතයන් තිදෙනෙකු එම සාකච්ඡාවලට සහභාගී කරවීමට සූදානම් බව ද හෙළි වී තිබේ. මේ වනවිට සමගි ජන බලවේගය තුළ සරත් ෆොන්සේකාගේ භූමිකාව ගුප්ත ස්වාභාවයකට පත් වී තිබීම පිළිබඳව එම පිලේ බොහෝ දෙනෙකුගේ දැඩි අවධානයකට යොමු කර ඇතැයි ද වාර්තා වේ. ලක්ෂ්මන් ෆොන්සේකා සහ සරත් ෆොන්සේකා අතර පවතින සමීප සම්බන්ධතාවය ද එවැනි ම සැලකිල්ලකට යොමු වී තිබේ.