රනිල් – සජිත් කණ්ඩායම් දෙකම තමන්ගේ පාලනයේ අතීතය වසා දමා අලුත්ම කණ්ඩායම් ලෙස කටයුතු කරමින් සිටින බව විශ්‍රාමික ප්‍රධාන ගණකාධිකාරී ඇන්ටන් පෙරේරා අවධාරණය කරයි.

ඔහු මේ බව අවධාරණය කළේ බත්තරමුල්ල පැලවත්ත හි පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ අද (26) පෙරවරුවේ පැවති ජාතික ජන බලවේගයේ විගණක සහ ගණකාධිකාරී වෘත්තිකයන්ගේ සංසදයේ මාධ්‍ය හමුවක් අමතමිණි.

එම මාධ්‍ය හමුව සඳහා විශ්‍රාමික විගණන අධිකාරී කේ.ජී කීර්තිසේන සහ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ සහකාර විගණකාධිපති රම්‍යා ලාලනීද සහභාගී වී සිටියහ.

“මේ රටේ පාලකයන් සහ ඔවුන්ගේ හවුල් කණ්ඩායම් මහජනතාව නොමග යවමින් විවිධ අයථා පත්වීම් ලබාදී මානසික අල්ලස් දීමට ක්‍රියාමාර්ගයක් දියත් කර තිබෙනවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ තමන් 2022 ජූලි මාසයේ 21වැනිදා අනුප්‍රාප්තික ජනාධිපති ලෙස පත්වීම නිසා රට බංකොලොත්භාවයෙන් ගොඩගත්තේ යැයි ප්‍රකාශ කරනවා. ඔහු හිතාමතාම රට මේ තත්වයට වැටීමේ වගකීමේ ප්‍රධාන කොටසක් තමාට අයිති බව සැඟවීමට කටයුතු කරමින් සිටිනවා. මීට නොදෙවෙනි ආකාරයෙන් 2015-2019 කාලයේ ඔහු සමග කටයුතු කළ සජිත් ප්‍රේමදාස ප්‍රමුඛ පිරිසක් වෙනත් ප්‍රචාර සිදුකරමින් සිටිනවා. මේ කණ්ඩායම් දෙකම සහල් බෙදමින්, ඉඩම් ඔප්පු බෙදමින් තමන්ගේ පාලනයේ අතීතය වසා දමා අලුත්ම කණ්ඩායම් ලෙස ක්‍රියා කරනවා.

2015දී අගමැති වූ රනිල් වික්‍රමසිංහ කැබිනට් මණ්ඩලයට බාහිරව පිහිට වූ ආර්ථික කළමනාකරණය පිළිබඳ අමාත්‍ය මණ්ඩල කමිටුවට කැබිනට් මණ්ඩලයටත් වඩා බලතල සහිත තත්වයක් ආරෝපණය කර දී තිබුණා. සමගි ජන බලවේගය සමග අද කටයුතු කරන කබීර් හෂීම් ඒ කමිටුවේ සාමාජිකයෙක්. රනිල් වික්‍රමසිංහ සහ කබීර් හෂීම්ට අමතරව නිමල් සිරිපාල ද සිල්වා, රවුෆ් හකීම්, අනුර ප්‍රියදර්ශන යාපා, රවී කරුණානායක, පාඨලී චම්පික රණවක, අර්ජුන රණතුංග, සාගල රත්නායක සහ මලික් සමරවික්‍රම යන අය අනෙකුත් සාමාජිකයන් ලෙස සිටියා. මේ කමිටුව වසර තුනක් තුළ අවස්ථා සියයකට වඩා රැස්වී තිබුණා. විවිධ ආයතන සම්බන්ධව සහ වෙනත් තීරණ දහස් ගණනක් එම කාලය තුළ ගෙන තිබෙනවා. වර්තමාන අර්බුදයට මේ තීරණ බලපෑ ආකාරය නිදර්ශන කිහිපයකින් දක්වන්නම්.

2015-2019 කාලයේ ඔවුන්ගේ ආණ්ඩුව ස්වෛරීත්ව බැඳුම්කරවලින් පමණක් ඩො.මි. 12.5ක ණය ලබා ගෙන තිබෙනවා. රනිල් වික්‍රමසිංහ 2022 ජූලි 21 ජනාධිපති ධුරය බාරගත් පසු 2023 දෙසැම්බර් 31 වන විට රටේ සමස්ත ණය ප්‍රමාණය රු. ටි්‍රලියන 29.1ක් වී තිබුණා. ඔහු ධුරය බාර ගන්නා අවස්ථාවේ තිබුණේ ටි්‍රලියන 27ක් පමණයි. වර්තමාන ණය අර්බුදයේ සැලකිය යුතු විශාල පංගුවක් රනිල් වික්‍රමසිංහගේ පාලන කාලය තුළට අයත් වන බව මෙයින් පැහැදිලියි.

මේ අර්බුදයට වගකිව යුතු නැති ආකාරයෙන් කටයුතු කරන ඔවුන් මූල්‍ය අරමුදලට ගොස් රට බේරා ගත් බවත්, විදේශ ණය හිමියන් සමග ගිවිසුම් අත්සන් කරමින් බංකොලොත් බවින් මුදා ගත් බවත්, ප්‍රකාශ කරන්න සූදානම් වෙනවා. සමගි ජන බලවේගයේ පිරිසද ආර්ථික කමිටුවක් පත්කරගෙන රට මුදා ගත හැකි බවට විවිධ කතා කියනවා. 2015 – 2019 තුළ ඔවුන්ගේ ආර්ථික කළමනාකරණ කමිටුව විසින් ඊට පෙර තිබුණු රාජපක්ෂ පාලනයේ සුදු අලි ව්‍යාපෘතිවල බිල් පියවා තිබුණා. සූරියවැව ක්‍රීඩාංගණයේ වියදම රු. බිලියන 3.9ක් ගෙවා දැමීමට මේ කමිටුව තීරණය කළා. ඒ වගේම සී.එන්.එන්. වැනි ප්‍රවර්ධන ආයතනවලට ගෙවිය යුතුව තිබුණ හිඟ මුදල් ගෙවීමේ තීන්දුව ගෙන තිබෙන්නේත් මේ ආර්ථික කළමනාකරණ කමිටුව විසිනුයි. රාජපක්ෂ පාලන සමයේ සිදුකළ වැරදි ඒ ආකාරයෙන් දිගටම පවත්වාගෙන යන අතර, විවිධාකාර උපදේශක සේවාවන් ලබාගැනීම වෙනුවෙන් විශාල මුදලක් වියදම් කර තිබෙනවා. මෙවැනි කටයුතුවලට අද සමගි ජන බලවේගයේ සිටින හර්ෂ ද සිල්වා සහ එරාන් වික්‍රමරත්නත් සම්බන්ධ වී තිබුණා. සමගි ජන බලවේගයේ ආර්ථික ප්‍රතිපත්තිය ලෙස හඳුන්වන බ්ලූ ප්‍රින්ට් එක සකස් කර තිබෙන්නේ හර්ෂ ද සිල්වා, කබීර් හෂීම් සහ එරාන් වික්‍රමරත්න යන තිදෙනායි. ඔවුන්ගේ දස වැදෑරුම් වැඩපිළිවෙළක් තුළ අංක 05 යටතේ වියදම් කළමනාකරණය සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කරනවා.

මේ වගන්තිය යටතේ වියදම් පාලනය වෙනුවෙන් රාජ්‍ය ව්‍යාපාර විකුණා දැමීම ගැන සඳහන් වෙනවා. විශේෂයෙන් එයාර් ලංකා සමාගම ගැන සඳහන් කර තිබෙනවා. මේ සමාගම යහපාලන ආණ්ඩුව තුළ පැවතියේ කබීර් හෂීම් ඇමතිවරයා යටතේයි. රාජ්‍ය ව්‍යාපාර සංවර්ධන ඇමති හැටියට ඔහු ක්‍රියාකරන අතර, අපි මුලින් සඳහන් කළ ආර්ථික කළමනාකරණ කමිටුවේ සිටියා. ඔහු යටතේ සිටි රාජ්‍ය ඇමති එරාන් වික්‍රමරත්නයි. සමගි ජන බලවේගය යටතේ ඔවුන් සහභාගී වී සකස් කළ බ්ලූ ප්‍රින්ට් එකේ එයාර් ලංකා සමාගම ගැන සඳහන් කර තිබෙනවා. 2015 – 2019 කාලයේ කමිටුව අවස්ථා 32කදී රැස් වී තිබෙනවා. උපදේශක සේවා සමාගම්වලින් මුදල් ගෙවා සේවා පවා ලබාගෙන තිබෙනවා. එහෙත් ඒ පිළිබඳව කිසිදු සාධනීය පියවරක් ගෙන නැහැ. යහපාලන කාලයේ ආර්ථික කළමනාකරණ කමිටුව රැස්වී තිබෙන්නේ වාර සීයයි. එයින් 32ක්ම රැස්වී ඇත්තේ එයාර් ලංකා සමාගම ගැන සාකච්ඡා කරන්නයි. මේ ලෙස අසාර්ථක වූ පිරිසක් සමගි ජන බලවේගය යටතේ අලුතින් කියන කතා අපට කිසිසේත්ම විශ්වාස කරන්න බැහැ.

ඊට අමතරව රනිල් වික්‍රමසිංහ මේ දිනවල පත්වීම් රැසක් ලබාදෙමින් යනවා. තව පැත්තකින් තරුණ තරුණියන් රැස්කර, විනයගරුක සමාජයක් ගොඩනඟන බව කියන රනිල් වික්‍රමසිංහ පසුගිය සතියේ ධීවර අමාත්‍යාංශයට පත් කළ ලේකම්, මොහාන් නිශාන්ත වික්‍රමසිංහ යහපාලන ආණ්ඩුව කාලයේ ධීවර හා ජල ජීවී අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයෙක් ලෙස පත්කර සිටියා. ඔහු 2018 ජූනි 05වැනි දින ඔහුගේ නිල වාහනය වූ ඩබ්.පී.ඒ.වයි. 4964 වාහනය, මත්පැන් පානය කර, ගොස් අනතුරකට ලක්කරනවා. වාහනයේ ඉදිරිපස මුළුමනින්ම විනාශ වී එය හැපුණු විදුලි කණුවේ අලාභය ලෙස රුපියල් එක්ලක්ෂ හයදහස් හත්සිය විසිහතරක් වී තිබුණා. ඔහු මත්පැන් පානය කර සිටි බව පොලිස් පරීක්ෂණවලදී හෙළි වී තිබුණා. වලංගු රියදුරු බලපත්‍රයක් නොමැති බවත් හෙළි වූවා. ඒ අතර වෙනත් පුද්ගලයෙකු රියදුරු ලෙස හඳුන්වා දී ගැලවී යාමට උත්සාහ කළ බවත් තහවුරු වී තිබුණා. මේ අනතුර සම්බන්ධයෙන් කඩුවෙල අධිකරණයේ නඩු පවරා වැරදිකරුවෙකු වී රුපියල් දහදහස් පන්සියයක දඩ මුදලක් සහ වසර පහකට අත්හිටවූ මාස තුනක සිරදඬුවමක් නියම කර තිබුණා. ඔහු දැන් ධීවර අමාත්‍යාංශයේ ලේකම් ලෙස පත්කර විනයගරුක රටක් හදන්නේ කොහොමද? ඔහුට අදාළව කිසිදු විනය පියවරක් 2018 දීත් ගෙන තිබුණේ නැහැ.

රනිල් වික්‍රමසිංහ අගමැතිව සිටියෙදී කිරි ගවයන් ගෙන්වීමේදී ඩොලර් මිලියන 11.9ක් වෙලාඩ් එක්ස්පෝර්ට් කියන සමාගමට ගෙවා තිබුණත් මේ වන තුරු බලු පැටියෙක්වත් ගෙනත් නැහැ. 2018 මැයි 08වැනිදා මේ මුදල ගෙවා තිබුණේ එවකට පශු සම්පත් අමාත්‍යාංශයේ සිටි ලේකම්වරියයි. මේ සම්බන්ධ පරීක්ෂා කිරීමට ජනාධිපති විමර්ශන ඒකකයට ගෙන්වා තිබුණා. නමුත් මෙම ලේකම්වරිය පොලිස් කොමිසමේ සාමාජිකාවක් ලෙස පත්කර තිබීමත් විශේෂත්වයක්. පළාත් පාලන මැතිවරණය කල් දැමීමට විශාල ක්‍රියාකාරිත්වයක් දැක්වූ රජයේ මුද්‍රණාලයේ අධිපතිනියට වසරක සේවා දිගුවක් ලබාදී තිබුණා. අද සිට ඇයට තවත් මාස හයක සේවා දිගුවක් ලබාදී තිබෙනවා. මේ රටේ අවංක නිලධාරීන් රැසක් සිටියත් විනය පිරිහීම් අතින් අන්තයටම ගිය අය උසස් තනතුරුවලට පත්කර තිබීම ගැන විගණකාධිපතිවරයා ලබාදී තිබෙන වාර්තාවේ ඇතැම් කරුණු අපි හෙළිකරන්නම්.

විගණකාධිපතිවරයා නිකුත් කර තිබෙන ධීවර හා ජලන සම්පත් සංවර්ධන අමාත්‍යාංශය සම්බන්ධයෙන් 2018 නිකුත් කළ විගණකාධිපති වාර්තාවේ ඒ 3/7 ඡේදයේ පෙර කී අතිරේක ලේකම්වරයා සිදුකළ තනතුර නිසා අමාත්‍යාංශයට රුපියල් නව ලක්ෂ අනූහත්දාහකට පාඩුවක් සිදුකර ඇති බව සඳහන් වෙනවා. මේ සම්බන්ධයෙන් නිසි පරිදි ක්‍රියාකිරීමේ වගකීම පැවරී තිබෙන්නේ අමාත්‍යාංශයේ ලේකම්වරයාටයි. නමුත් ඒ සම්බන්ධයෙන් කිසිදු දඬුවමක් නොදී අද වෙනකොට අමාත්‍යාංශයේ ලේකම් දක්වා උසස්වීමට අවස්ථාව ලබාදී තිබෙනවා. මෙතන සිදුවී තිබෙන්නේ ප්‍රබල දේශපාලන බැඳීමක ක්‍රියාමාර්ග පිළිබඳවයි.

යහපාලන කාලයේ කුලියාපිටියේ ‘ෆොක්ස්වැගන්’ කර්මාන්ත ශාලාවක් පිහිටුවීමට බව කියමින් මහනුගලියැද්ද කියන ඉඩම පවරාගෙන තිබුණා. එය මහාභාරකාරවරයා සතුව තිබූ ඉඩමක්. ආයෝජන මණ්ඩලය මගින් එය පවරා ගන්න උත්සාහ කළත් එය කළ නොහැකි වුණා. ඒ සම්බන්ධයෙන් මේ වන විටත් අධිකරණයේ නඩු විභාගයක් පැවැත්වෙනවා. 2048දී රට සංවර්ධනය කරන බවට දැන් කියන කතාවත් ෆොක්ස්වැගන් කර්මාන්ත ශාලාව වගේමයි. ජනාධිපතිවරණය පැවැත්වෙන තුරු මේ වැනි විවිධ ප්‍රචාර සිදුකරන බව පැහැදිලියි. මහජන මුදල් පාලකයන්ට අවශ්‍ය ආකාරයෙන් යොදවා ගැනීමට නම්, තමන්ට අවනත මෙවැනි නිලධාරීන් පත්කර ගත යුතුව තිබෙනවා. මැතිවරණය දක්වා ඉදිරියේදීත් එවැනි පත්කිරීමි සිදුකරනු ඇති බව පැහැදිලියි.”

මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු

ප්‍රශ්නය: ඔබ මේ තොරතුරු හෙළිකිරීමෙන් බලාපොරොත්තු වන්නේ මොකක්ද?

පිළිතුර: අද රාත්‍රියේ රට බංකොලොත් බවෙන් මුදා ගත් බවට ප්‍රකාශයක් කිරීමට සූදානම් වෙනවා. නමුත් රනිල් වික්‍රමසිංහ පාලනය යටතේ මේ දක්වා අනුගමනය කළ ක්‍රියාමාර්ග මේ අර්බුදයට හේතුවී තිබෙන ආකාරය පැහැදිලි කිරීම මූලික අරමුණයි. රට විනයගරුක තත්වයකට පත්කරන්න නම්, දූෂිත නිලධාරීන් ඉහළම ලේකම් පදවිවලට පත්කරනවාද? අනෙක් පැත්තෙන් 2015 – 2019 කාලයේ සිටි අයගෙන් කොටසක්ම තමයි සමගි ජන බලවේගය කියන්නෙත්. ඔවුන්ගේ ප්‍රතිපත්තියේත් එයාර් ලංකා ආයතනය සම්බන්ධයෙන් ඉදිරිපත් කර තිබෙන ප්‍රතිපත්ති ප්‍රකාශයේ කරුණු සහ ඔවුන් 2025 – 2019 කාලයේ ඒ ආයතනයට සම්බන්ධව කටයුතු කළ ආකාරයම මේ පොරොන්දු දීමේ වලංගුභාවය තේරුම් ගැනීමට ප්‍රමාණවත්.

ප්‍රශ්නය: රාජ්‍ය නිලධාරීන් ලෙස ඒ කාලයේ මීට වැඩිය දෙයක් කරන්න තිබුණා. මෙවැනි දෙයක් නිලධාරීන් ලෙස නොකළේ ඇයි?

පිළිතුර: මේ වගේ අකටයුතුකම් සම්බන්ධයෙන් අපි දිගටම රැකියාව පරදුවට තබා හෙළිකර තිබෙනවා. මම උදාහරණයක් දෙන්නම්. 2020දී මම විශ්‍රාම යන අවස්ථාවේ හේතුදෙකක් නිසා විශ්‍රාම වැටුප නවත්වා තිබුණා. එක්තරා ආයතන ප්‍රධානියෙකුට විරුද්ධව අල්ලස් කොමිසමට පැමිණිලි කිරීම සහ අල්ලස් කොමිසමට තොරතුරු ලබාදීමේ චෝදනා මත රාජ්‍ය සේවා කොමිෂන් සභාව මා වෙත චෝදනා පත්‍රයක් ලබාදුන්නා. තවත් අවස්ථාවක පැමිණිල්ලක් කිරීම සඳහා අවශ්‍ය තොරතුරු මගේ වෘත්තියට අදාළ නිල මුද්‍රාව සහිතව ඉල්ලා සිටීම සම්බන්ධයෙන් චෝදනා පත්‍රයක් ඉදිරිපත් කොට තිබුණා. මොහාන් වික්‍රමසිංහ කියන මේ පුද්ගලයා රජයේ දේපළ කුඩුපට්ටම් කර තිබියදී චෝදනා පත්‍ර ලබාදී තිබුණේ නැහැ. ඔබ කල්පනා කර බලන්න මේ රට තිබෙන්නේ කොතැනද කියලා. රුපියල් 1450ක වැඩිපුර අතිකාල ගත් බවට චෝදනා කරමින් රිජ්වේ ආර්යා ළමා රෝහලේ සුළු සේවකයෙකුගේ විශ්‍රාම වැටුප අත්හිටුවා තිබෙනවා. ඔහු වංචා, දූෂණ හෙළි කළ බවට ඊට පෙර චෝදනා කර තිබුණත් විශ්‍රාම වැටුප අත්හිටුවීමට එය යොදාගත නොහැකි නිසා මේ ආකාරයෙන් කටයුතු කර තිබෙනවා.