මහනුවර දළදා පෙරහැර සාර්ථක ලෙස අවසන් කළ බව රාජ්‍ය නායකයාට දැනුම් දීමේ චාරිත්‍රානුකූල පිළිවෙත ඊයේ (20) මහනුවර ජනාධිපති මන්දිරයේ දී දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල විසින් සිදු කළ අතර, ජනාධිපති අපේක්ෂක රනිල් වික්‍රමසිංහගේ ඡන්ද ප්‍රචාරක පොරොන්දු ලබාදීමේ අවස්ථාවක් බවට පරිවර්තනය කර ගෙන තිබේ.

ජනාධිපති මාධ්‍ය ඒකකය විසින් ඊයේ නිකුත් කළ නිවේදනයක් මගින් එම අවස්ථාව ඡන්ද පොරොන්දු ලබා දීම සඳහා භාවිතා කළ ආකාරය තහවුරු වී ඇත. එම පොරොන්දු පිළිබඳව මාධ්‍ය නිවේදනයේ සඳහන් කොටස උපුටා ගෙන පහත දැක්වේ.

“ඒ වගේම කලාකරුවන් පුහුණු කරන සංස්කෘතික මධ්‍යස්ථාන සඳහා අවශ්‍ය සහයෝගය සංස්කෘතික අමාත්‍යාංශය හරහා ලබාදීමට අප කටයුතු කරනවා. මීට දශක 04කට පෙර ආරම්භ කළ බෙල්වුඩ් ආයතනය තරුණ සේවා සභාවේ කලා ආයතනයක් ලෙස දියුණු කර මේ ප්‍රදේශයේ තරුණ තරුණියන් ඇතුළු සියලු තරුණ තරුණියන්ට අවශ්‍ය දැනුම ලබාදීමට හා මෙම කටයුතු සඳහා සහභාගීවීමට අවස්ථාව ලබාදීමට ද කටයුතු කළයුතුයි. මේ පෙරහර මංගල්‍ය සමඟ මහනුවර කලා හා සංස්කෘතික මධ්‍යස්ථානයක් ලෙස දියුණු වෙනවා. ඒ වගේම මේ නගරය දියුණු කිරීමට අප තවත් පියවර කිහිපයක් ගෙන තිබෙනවා.

බෝගම්බර ගොඩනැඟිල්ලේ ඓතිහාසික වටිනාකම ආරක්ෂා කර ගනිමින් හිල්ටන් සමාගම සමග එක්ව හෝටලයක් ඇති කිරීමට අප මේ වන විට සාකච්ඡා කරගෙන යනවා. පැරණි තැපැල් කාර්යාලය ටාජ් හෝටලය සමඟ සම්බන්ධකර ගනිමින් නව හෝටලයක් ඇති කිරීමට ද සාකච්ඡා කරගෙන යනවා. ඒ වගේම බෝගම්බර ප්‍රදේශයේ තවත් ඉඩම් කිහිපයක් සංචාරක හෝටල් සඳහා යොදා ගැනීමටත්, මහුනවර දකුණ ලංගම ඩිපෝව ද ඒ සඳහා යොදා ගැනීමටත් සැලසුම් කර තිබෙනවා.

දැනට තිබෙන මහනුවර පොදු වෙළෙඳපොළ නවීකරණය කිරීමටද සැලසුම් කර තිබෙනවා. මීට අමතරව දිගන සහ කුණ්ඩසාලේ ප්‍රදේශ සංචාරක ව්‍යාපාරය ඉලක්ක කර ගනිමින් සංවර්ධනය කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මධ්‍යම අධිවේගි මාර්ගය ගලගෙදරින් අවසන් නොකර කටුගස්තොට දක්වා ඉදිකිරීමට මම ජපාන රජයෙන් ඉල්ලීක් කර තිබෙනවා. ඒ අනුව මෙම ප්‍රදේශය විශාල නාගරික ප්‍රදේශයක් ලෙස සංවර්ධනය වෙනවා.

පේරාදෙණිය උද්‍යානය වගේම අපි උඩවත්ත කැලය ගැන ද අවධානය යොමු කළ යුතුයි. දළදා මාළිගාවට වගේම සතර මහ දේවාල වෙතත් සංචාරකයන් ගෙන්වා ගනිමින් ආගමික වැඩකටයුතු සමඟ සම්බන්ධ කිරීමට අප සැලසුම් කර තිබනෙවා.

කොළඹ, ගාල්ල, මහනුවර වගේම ත්‍රිකුණාමලය යන නගර ලංකාවේ ප්‍රධාන කේන්ද්‍රස්ථාන ලෙස ගොඩනැඟීමට ද අප බලාපොරොත්තු වෙනවා. එහිදී මෙම මහනුවර පුරවරය සංස්කෘතික හා කලා මධ්‍යස්ථානයක් ලෙස මෙන්ම දේශගුණික විපර්යාස පිළිබඳ විශ්වවිද්‍යාලය ඇතුළු තවත් උසස් අධ්‍යාපන ආයතනවලින් සමන්විත අධ්‍යාපන මධ්‍යස්ථානයක් ලෙසද ගොඩනැගීමට අප බලාපොරොත්තු වෙනවා“