ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ විසින් තවත් රාජ්‍ය අමාත්‍යවරුන් පස් දෙනෙකු වහාම ක්‍රියාත්මක වන පරිදි අද (10) ඉවත් කර තිබෙනවා.

ශෂීන්ද්‍ර රාජපක්ෂ, තේනුක විදානගමගේ, ප්‍රසන්න රණවීර, ඩී.වී. චානක සහ ගීතා කුමාරසිංහ එසේ ඉවත් කළ රාජ්‍ය අමාත්‍යවරු යි. ජනාධිපති මාධ්‍ය ඒකකය පවසන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ජනාධිපතිට පැවරී ඇති බලතල යටතේ මෙම ඉවත් කිරීම් සිදු කර ඇති බවයි.

මීට පෙර පසුගිය පස්වෙනිදා වරාය සහ ගුවන්සේවා සේවා රාජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර, විදුලි හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ, කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා සහ මහාමාර්ග රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත් යන අය වහාම ක්‍රියාත්මක වන පරිදි ඔවුන් දැරූ රාජ්‍ය අමාත්‍ය ධුරවලින් ඉවත් කර තිබුණා.

ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරන්නේ ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 47 (3) (අ) ව්‍යවස්ථාව මගින් ජනාධිපතිවරයා වෙත ලබා දී ඇති අධිකාරිය යටතේ මෙම තීරණය ගෙන ඇති බවයි. අදාළ රාජ්‍ය අමාත්‍යවරුන් සියලු දෙනාම මෙවර ජනාධිපතිවරණයේ දී නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාට සහය පලකරන රාජ්‍ය අමාත්‍යවරුන් වන අතරා අද ධුරයෙන් ඉවත් කළ රාජ්‍ය අමාත්‍ය ගීතා සමන්මලී කුමාරසිංහ සජබ නායක සජිත් ප්‍රේමදාස වෙත සහය දැක්වීමට ඔහුගේ නුවර වේදිකාවට ඊයේ ගොඩවුණා.

ප්‍රේමලාල් ජයසේකර රාජ්‍ය අමාත්‍යවරයා ඉවත් කිරීමට පෙර ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහය පළකරන බව පැවසුවද පසුව ඔහු යළිත් පොහොට්ටුව වෙත පැමිණ නාමල් රාජපක්ෂට සහය දීමට එක්ව තිබුණා.

මෙලෙස ඉවත් කළ රාජ්‍ය අමාත්‍යවරුන් අට දෙනාම පොහොට්ටුව නියෝජනය කරන මන්ත්‍රීවරුන්වන අතර ඔවුන් සියලු දෙනාම රනිල් වික්‍රමසිංහ මහතා අනුප්‍රාප්තික ජනාධිපතිවරයා ලෙස පත් කිරීමට පාර්ලිමේන්තුවේ දී ඡන්දය ලබාදුන් මන්ත්‍රීවරු 134 දෙනාට අයත් වෙන අයයි.

මේ අතර අද දින රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉවත් කළ තේනුක විදානගමගේ රාජ්‍ය අමාත්‍යවරයාගේ වැඩිමහල් සොහොයුරා වන හිටපු ඌව පළාත් සභා අමාත්‍යවරයෙකු වූ අනුර විදානගමගේ පසුගිය හය වෙනිදා ඌව පළාත් ආණ්ඩුකාරවරයා ලෙස පත්කරනු ලැබුවා. ඔහු ජනාධිපතිවරයාගේ ඌව පළාත් බාර සංවර්ධන කටයුතු සඳහා ජ්‍යෙෂ්ඨ උපදේශක තනතුරේ කටයුතු කළ කෙනයි.