පොහොට්ටු පක්ෂයේ මන්ත්‍රීන් 134කගේ ඡන්දයෙන් ජනාධිපති වූ රනිල් වික්‍රමසිංහ ආර්ථිකය ගොඩ ගත් බව පුනපුනා සඳහන් කළ ද, දුප්පත්කම දෙගුණ වී කුසගිනි නිවා ගැනීමට පවා ණය ගැනීමේ තත්වයක් ජනතාවට උදා වී ඇතැයි ලෝක බැංකුවේ නවතම වාර්තාවකින් හෙළිකර තිබේ.

මෙරට සිටින ලෝක බැංකුවේ ප්‍රධානී, ආර්ථික විද්‍යාඥ රිචර්ඩ් වෝකර් ඊයේ (අ‍ප්‍රේල් 02) “ශ්‍රී ලංකා සංවර්ධන ඇගයුම්” නම් නිල වාර්තාව නිකුත් කිරීම නිමිත්තෙන් පවත්වන ලද මාධ්‍ය හමුවකදී අදාළ කරුණු ඉදිරිපත් කර ඇත. අද (03) නිකුත් කළ දිවයින පුවත්පතේ ප්‍රධාන ප්‍රවෘත්තිය එම මාධ්‍ය හමුවේදී හෙළි කළ කරුණු අනුව සකස් කර තිබේ. “දුප්පත්කම ඩබල් වෙලා” යන ප්‍රධාන සිරස්තලයෙන් සහ “කුසගිනි නිවා ගන්නත් ණය වෙන්න වෙලා, පිට පිට අවුරුදු 4ක් දරිද්‍රතාව ඉහළට, රස්සා දොරවල් වැහිලා, භාණ්ඩ මිලෙන් ජනතාව ඵීඩා විඳිනවා” යන අනු සිරස්තලවලින් අදාළ කරුණු හෙළිකර තිබිණි.

‘භාණ්ඩවල ඉහළ මිල, ආදායම් තත්වය අඩුවීම සහ අඩු ආදායම් සහිත රැකියා පැවතීම වැනි විවිධ ප්‍රශ්නවලින් ජනතාව පීඩාවට පත්ව සිටිති. මේ හේතුව නිසා ජනතාවට ආහාර අවශ්‍යතා සපුරා ගැනීම සඳහා ද ණය ගැනීමට සිදුව ඇත.’ යනුවෙන් එම වාර්තාවේ කරුණු දිවයින පුවත්පත විසින් උපුටා දක්වා තිබේ.