රටක ආර්ථික ප්‍රතිපත්ති සම්පාදනය විය යුත්තේ අනාගත පරම්පරාව දෙස බලාගෙන යැයි ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික සහ එහි ආර්ථික කවුන්සිලයේ සාමාජික සුනිල් හඳුන්නෙත්ති අවධාරණය කරයි.

ඔහු මේ බව අවධාරණය කළේ, බත්තරමුල්ල පැලවත්ත හි පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ අද (02) පෙරවරුවේ පැවති ජාතික ජන බලවේගයේ ආර්ථික කවුන්සලයේ මාධ්‍ය හමුව අමතමිණි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික සහ එහි ආර්ථික කවුන්සිලයේ සාමාජික සුනිල් හඳුන්නෙත්ති,

“මේ ආණ්ඩුව කිසිදු ජන වරමක් නැති, ජනතාව ප්‍රතික්ෂේප කළ ආණ්ඩුවක්. ආණ්ඩුව සතු ආර්ථික සම්පත්, මර්මස්ථාන විකිණීම හා පෞද්ගලීකරණය කිරීම සඳහා පාර්ලිමේන්තුවට ජන වරමක් නැහැ. ඒ වගේම ඔක්තෝබර් වෙන කොට ජනාධිපතිවරයෙක් තෝරා ගන්න ජනාධිපතිවරණයක් පවත්වන්න නියමිතව තිබෙනවා. එසේ තිබියෙදී අනාගත වර්ෂ ගණනාවකට බලපාන මර්මස්ථාන තුට්ටු දෙකට අලෙවි කිරීම සඳහා ආණ්ඩුව උත්සාහ ගනිමින් ඉන්නවා. මෙම ක්‍රියාමාර්ගවල ප්‍රතිවිපාක එන්නේ අපේ ජාතික ජන බලවේගයේ පාලනයටයි. ආණ්ඩුව යන යකා කොරහාත් බිඳගෙන යන්නේ ඇමතිවරුන්ට කොමිස් කුට්ටි ලබාගැනීම සඳහා. ශ්‍රී ලංකන් ගුවන් සේවය කුණු කොල්ලයට විකිණීම සඳහා එය භාර ඇමතිවරයාම ගුවන් සේවය බාල කරනවා නම් ඊට විරුද්ධ වීම වැරදිද? ජාතික ජන බලවේගයේ ආර්ථික ප්‍රතිපත්ති අනුව අපට ලොකු වුවමනාවක් තිබෙනවා, ශ්‍රී ලංකාව ලෝකයේ දිදුලන රාජ්‍යයක් බවට පත්කරන්න. ඒ වගේම සංචාරක කර්මාන්තයේ හොඳම ගුවන් ගමනාන්තයක් බවට පත්කරන්න. 2018 වෙන විට ලාබ ලබපු, ශ්‍රී ලංකන් ගුවන් සේවය එක්සත් ජාතික පක්ෂ හා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු ආණ්ඩුවල අකාර්යක්ෂමතාවය විසින් පාඩු ලබන තත්වයට පත්කර තිබෙන බව ඇත්ත. ඉතිහාසය පුරා ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳව පාර්ලිමේන්තුව තුළ ඇති තරම් කතා කොට තිබෙනවා.

ශ්‍රී ලංකන් ගුවන් සේවය අදටත් රජය යටතේ පැවතිය යුතුයි අපි කියනවා. රජය යටතේ හොඳ සංචාරක කර්මාන්තයක් දියුණු කරන්න විදේශ විනිමය ගෙන ඒම සඳහා එය අපට වැදගත් වෙනවා. සමගි ජන බලවේගයේ ඉන්න ආර්ථික විශේෂඥ එරාන් වික්‍රමරත්න රාජ්‍ය ඇමතිවරයා කිවුවේ මේක රුපියලකට හරි ගන්න එන්න කියලා. ඔවුන් තමයි කීවේ ණය පංගුව, පාඩුව භාණ්ඩාගාරයට බාරගෙන මේක අලෙවි කරන්න කියලා. ඒක තමයි ඔවුන්ගේ ආර්ථික ප්‍රතිපත්තිය. ශ්‍රී ලංකන් ගුවන් සේවය රාජ්‍ය ව්‍යාපාරයක් හැටියට දියුණු කරන්න අවස්ථාවක් තිබෙනවාද කියා උත්සාහ කරන්න අවසාන පැය දක්වා අපි උත්සාහ කරනවා. දැනුත් ලාභ ලබන ආයතනයක් වුණු ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව විකිණීම සඳහා යෝජනා කොට තිබෙනවා. එය කිසිදු ප්‍රශ්නයක් නැතිව පෞද්ගලික තරගකාරී ආයතනත් එක්ක තරගයක් දෙනවා. දැන් පෞද්ගලීකරණය කළත් ඊට වඩා ඇති කළ යුතු වෙනස මොකක්ද? එකම දේ තමයි මුදල් ටිකක් රට ඇතුලට ගේන එක. හැබැයි රාජ්‍ය අයිතියම විකිණීමට ලක්කරනවා. මේ ආණ්ඩුවට ඒ සඳහා ජනවරමක් නැහැ. මේ ජන වරමක් උරගා බලන කාලයක්. 2024 මාර්තු මාසෙ 11දා රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කුමාර රාජ්‍ය ව්‍යාපාර ප්‍රතිව්‍යුහ කරන ඒකකයට ලියනවා, 2025 ජනවාරි දක්වා ලිට්රෝ ගෑස් රීකන්ස්ට්‍රක්ෂරින් ප්‍රෝග්රෑම් එක නවත්වන්න කියලා. එහි පැහැදිලිව ඉංග්‍රීසියෙන් එම ප්‍රතිව්‍යුහගත කිරීම නතර කළ යුතු බව කියනවා. මෙසේ ලිඛිතව උපදෙස් දී තිබියෙදී තමයි, අදටත් ලිට්ට්‍රෝ ගෑස් සමාගම පෞද්ගලීකරණය කරගෙන යන්නේ. ආණ්ඩුව දැනටමත් ගෑස්වල මිල අඩුකරන්න පුළුවන් කියද්දී, එම සමාගමේ සභාපතිවරයාම බිලියන ගණනක් ගිය අවරුද්දේ භාණ්ඩාගාරයට දුන්නා කියද්දී ආයතනය විකිණීමේ ක්‍රියාවලියක් යනවා. ගෑස් කියන්නේ ජනතාවගේ අත්‍යවශ්‍ය අවශ්‍යතාවයක්. මේ ගෑස් සමාගම විකිණීමේ තර්කානුකූල හේතුව මොකක්ද?

අපට ටෙලිකොම් අවශ්‍ය වෙන්නේ අයි.ටී. තාක්ෂණය ප්‍රවර්ධනය කරගෙන යන්න. අපට ටෙලිෆෝන් බෙදන ආයතනයක් අවශ්‍ය නැහැ. අපට අවශ්‍ය වන්නේ ටෙලිකොමිනිකේෂන්. අපි විශ්වාස කරනවා අයි.ටී. තාක්ෂණය ලෝකයේ විදේශ විනිමය උපයන, ලංකාව ජාත්‍යන්තරයේ ස්ථානගත කරන්න පුළුවන් කියලා. අපේ තරුණ පරම්පරාවේ දැනුම අනුව ලෝකයේ නව ස්ථානයකට එය ගෙනියන්න පුළුවන්. ඒ සඳහා රාජ්‍ය අයිතිය යටතේ ටෙලිකොම් ආයතනය තියෙන්න ඕනෑ. පෞද්ගලික අංශය සමග තරග කරන්නත්, අයි.ටී. තාක්ෂණය අපේ අනන්‍යතාවය සහිතව ඉදිරිපත් කරන්නත් මේ විදුලිසංදේශ සංඛ්‍යාත අයිතිය ශ්‍රී ලංකා රජය යටතේ තිබිය යුතුයි. ඒක ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්තිය.

අපි මේ රටේ ජනතාවගෙන් ජන වරමක් ඉල්ලනවා, අපට ශ්‍රී ලංකා රජය යටතේ අයිතිය තබාගෙන ටෙලිකොමිනිකේෂන් පද්ධතිය බිලියන ගණනක විදේශ විනිමය සොයන, ලෝකය සොෆ්ට්වෙයාර් තාක්ෂණය ගෙනියන ඒ හැකියාව දියුණ කරන ආයතනයක් බවට තියා ගන්න. ජාතික ආරක්ෂාව පැත්තෙන් ගත්තොත් ශ්‍රී ලංකා රජය යටතේ ටෙලිකොම් තියෙන්න ඕනෙ. පසුගිය යුද්ධ සමයේ ජාතික ආරක්ෂාව පිළිබඳ තීරණ ගනිද්දී ටෙලිකොම් ආයතනයේ ක්‍රියාකාරිත්වය විශාල වශයෙන් වැදගත් වුණා. ටෙලිකොම් ආයතනයේ හිටපු සභාපතිවරයා රොහාන් ප්‍රනාන්දු මහතා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය 2024 පෙබරවාරි 26 දා ඒකෙ අවුරුදු 10ක ලාභදායී තත්වය භාණ්ඩාගාරයේ ලේකම්වරයාට ලියා යවනවා. ටෙලිකොම් ආයතනය පාඩු ලබන ආයතනයක් නොවෙයි. 2022 වාර්ෂික වාර්තාව අනුව ආදායම බිලියන 107ක්. බදුවලට පෙර ලාභය බිලියන 10ක්. බදු ගෙවලා ලාභය බිලියන 05ක් තිබෙනවා. මිලියන 4765ක් ලාභ තිබුණා. රජය බදු ගෙවා තිබෙනවා. ලාභ තිබෙනවා. ජාතික සම්පතක්. එකක් විකුණන එක වැරදියි.

අනෙක මේ මොහොතේ මේ ආයතන විකුණන්න රනිල් වික්‍රමසිංහට ජන වරමක් නැහැ. සමහර ආයතන ගැන අපිට හිතන්න වෙයි. ඒ ජනවරමට අනුව. තවදුරටත් රජයේ කාර්යභාරය හැටියට තබනවාද? පෞද්ගලික අංශය ඒකාබද්ධ කර ගන්නවාද? පෞද්ගලීකරණය හා ප්‍රතිව්‍යුහගතකරණය කියන්නේ දෙකක්. ප්‍රතිව්‍යුහකරණය කියන්නේ කළමනාකරණවේ ගැටලුවක් නම්, ඒ කළමනාකරණයට පිළිතුරු සෙවීමයි. විශේෂයෙන් මේ ආණ්ඩුවට ජනවරමක් නැහැ. ජනවරම උරගා බලන මැතිවරණයක් කට ළඟ තබාගෙන අනාගත පරම්පරාවකට වගකියන රාජ්‍ය ආයතන විකුණන්නේ. රනිල් වික්‍රමසිංහගේ ආර්ථික උපදේශකයන් කියනවා නම් මේ නිසා ආයෝජකයන් බයවෙයි කියලා, අපි කියන්නේ ආයෝජකයන් නොවෙයි බය වෙන්න ඕනෙ ඔයගොල්ලන්. මේ ආයතන කුණු කොල්ලයට විකුණලා, කොමිස් හොයාගන්න බලාගෙන ඉන්නවා නම්, බය වෙන්න ඕනෙ ඔයගොල්ලෝ.

අපි විශ්වාස කරනවා මේ රටේ ජනතාව ඉදිරි ජනාධිපතිවරණයේදී ජනවරමෙන් ඔබට උත්තර දෙනවා. අපි කැමතියි විනිවිදභාවයක පෙනෙන, ඒ වගේම මූල්‍ය ශක්තියක් හැදෙන, රටේ ආර්ථිකයට දායක වෙන, විදේශ විනිමය සම්පාදන කරන, කිසිදු ආකාරයක කොමිස් ඉල්ලීමකින් තොරව, මේ නවීන තාක්ෂණය යටතේ ආයෝජකයන් කැඳවන්න. මේ රටට ආයෝජකයන් එන්නේ නැත්තේ මේ සංකීර්ණ ලිපිගනුදෙනු ක්‍රියාවලියත්, ප්‍රමාදයත්, මේ දූෂිත ක්‍රමයත් විසින් ආයෝජකයන් බියකර තිබෙනවා. අපේ ප්‍රකාශයකට ආයෝජකයන් බයවෙන්න වුවමනා නැහැ. මේ කුණුකොල්ලෙට විකුණන ක්‍රියාවලියට අපි විරුද්ධයි. රටේ ජාතික සම්පත් කුණු කොල්ලයට විකුණන උත්සාහයන් පරාජය කරන්න තමයි අපි මේ උත්සාහ කරන්නේ. අනාගත පරම්පරාවකට බුක්ති විඳින්න තිබෙන ආර්ථික සම්පත් විකිණීම අඩපණ වෙනවානම් අපි ආර්ථික කවුන්සිලය හැටියට අපි සතුටු වෙනවා.

මේ විකිණීම් නැවත පවරා ගන්න තිබෙන හැකියාව හරිම අඩුයි. දැන් බලන්න, හම්බන්තොට වරාය අවරුදු 99ක බද්දකට දුන්නා. අපට ලැබුණේ මොකක්ද? අදත් අපි ණය ගෙවනවා. අපට වරායක් නැතිවුණා. කෙන්යාවේ පාර්ලිමේන්තුව පවා උදාහරණයට ගන්නවා, රටක් ණය වෙන ක්‍රමයට හොඳම උදාහරණයක් ලෙසට හම්බන්තොට වරාය චීනයට ලබාදීම. අපිව රටක් හැටියට හාස්‍යයට ලක්කරනවා. ඒ නිසා අපේ ආර්ථික ප්‍රතිපත්ති සම්පාදනය විය යුත්තේ තමන්ගේ කෙටි කාලීන බලය දෙස බලාගෙන නොවෙයි, රටක පාලකයන්ගේ අවුරුදු 05ක පාලන කාලය දෙස බලාගෙන නොවෙයි, රටක අනාගත පරම්පරාව දෙන බලාගෙන. අපි ජනතාවට අවධාරණය කරනවා, මේ රට ඔබේ. අවුරුදු 05කට පාලනය කරන දේශපාලකයන්ගේ නොවෙයි. පිල් මාරු කරන දේශපාලකයන්ගේ නොවෙයි. ඔබට වගකියන්න වෙලා තිබෙනවා ඔබ ලබාදුන් ඡන්දෙ වෙනුවෙන්. හෙට ඔබට වගකියන්න වෙන්නේ අපට ලබාදෙන රට වෙනුවෙන්. අපි ඔබත් සමග ඒ බැඳීමට එකඟයි. මහජන වරමක් නැති රනිල් වික්‍රමසිංහ ඔහුගේ ගෝලබාලයෝ ටික, රාජපක්ෂලා මේ කරගෙන යන විකිණිම නතර කරන්න ඔබ සැම දෙනාම මහජන මතයක් හැදිය යුතුයි.

විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද පාවිච්චි කරලා, රජයට බදු අහිමි කිරීමත්, ජනතාවට සහන නැතිකිරීමත් ක්‍රියාවලිය බාර් පර්මිට් එක දෙනවා වගේ දේශපාලන හිතවතුන්ට වාහන පර්මිට් එක දෙනවා වගේ තමන්ගේ වෙළඳ මිතුරන්ට වාසි සලසන ක්‍රමයක් තමයි, මේ විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද. මේ බද්ද අත්‍යවශ්‍ය ආහාර භාණ්ඩවලට පනවා තිබෙනවා. ඒක පැනවීමේ බලාපොරොත්තුව තිබෙන්නේ දේශීය ගොවියා, කර්මාන්තකරුවාට. විශේෂයෙන් දේශීය කෘෂිකර්මාන්ත පද්ධතිය ආරක්ෂා කිරීම යනුවෙන් නාමිකව සඳහන් කරලා, ඊයේ පෙරේදා නිවාඩු දවස් අල්ලා දවස් පහකට ආනයනික හාල් සඳහා පනවා තිබුණු රුපියල් 65ක විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද රුපියලට අඩු කළා. මෙම විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද අඩු කිරීමේ ගැසට් එක රනිල් වික්‍රමසිංහ නමින් 2024 මාර්තු 25 වැනිදා ගහනවා. මේ ගැසට් එක බල පවත්වන්නේ මාර්තු 27 දා සිට අප්‍රේල් 03වැනිදා දක්වා. ඊයේ පෙරේදා ඇතුළත කන්ටේනර් 10ක් වරායෙන් නිදහස් කර තිබෙනවා. ඒ නිදහස් කළ නිසා ආණ්ඩුවට, රටට අහිමි වෙන බදු ආදායම රුපියල් එක්කෝටි හැට ලක්ෂයක්. කිලෝ දෙලක්ෂ පනස් දහසක් පමණ නිදහස් කරගෙන තිබෙනවා. ආණ්ඩුවට ලැබුණේ රුපියල් දෙලක්ෂ පනස් දහසක් පමණයි. ආණ්ඩුවට අහිමි වුණු ප්‍රමාණය රුපියල් එක්කෝටි හැට ලක්ෂයක්. වෙළඳ ඇමතිවරයා කියනවා වරායේ ඉඩ හදාගන්න හාල් චුට්ටක් තිබෙනවා ඒක අයින් කරනවා කියලා. ඒ හාල් චුට්ට කිලෝ දෙලක්ෂ පනස් දාහක්. ඒක නිසා හාල් මිල අඩුවෙන්නේත් නැහැ. රටට මේ බදු ආදායම් අහිමි වීම නතර වෙන්නේත් නැහැ. සුදුළුෑනුවලින්, සීනි බදු වංචාවෙනුත් සිදුවුණේ මේක. බිත්තරවලින් වෙන්නෙත් මේක. බිත්තරවලින් මේ රටට අහිමි කර ගන්න බද්ද බඩඉරිඟු ගොවීන්ට දුන්නා නම්. ලංකාවේ කුකුල් කෑම හදලා බිත්තර හදන්න තිබුණා. මේවා ඇමතිවරු සහ අදාළ ව්‍යාපාරවල ඉන්න කිහිප දෙනෙක් එකතුවෙලා මේ මොහොතට හදා ගන්නා ක්‍රමයක්. සෞඛ්‍ය ඇමති බෙහෙත්වලින්, වෙළඳ ඇමති ආනයනික බඩුවලින් වංචා කරන එක සාමාන්‍ය දෙයක් කරගෙන.

ප්‍රතිපත්ති ක්‍රියාවට නඟන යාන්ත්‍රණය අන්ත දූෂිත නම්, මේ දූෂිත ක්‍රමය වෙනස් කරන්නේ නැත්නම් මොන සුන්දර ප්‍රතිපත්ති හැදුවත් වැඩක් වෙන්නේ නැහැ. හොරකම් නතර කරන එක ගැන කතා කළාට, හොරකම් නතර කරන එක ලේසිත් නැහැ. හොරකම් නතර කරලා විතරක් රට හදන්න බැහැ. අපිත් පිළිගන්නවා, හොරකම් නතර කර විතරක් රට හදන්න බැහැ තමයි, හොරකම් නතර නොකර, හදන එක ගැන හිතන්නවත් බැහැ. මේ අන්ත දූෂිත දේශපාලන ක්‍රමය මේ රට කඩා වැටෙන්න ප්‍රධාන හේතුවක් වී තිබෙනවා.

අපිට විවාදයකට එන්න ආරාධනා කර තිබෙනවා. එවැනි විවාදයකට තැන් තැන්වල නැතිව ලිඛිතව අපට ආරාධනා කරන්න. අපි කැමතියි ඔබේ නායක සජිත් පේමදාසත් සමග ඒ විවාදය කරන්න. අපේ නායක අනුර දිසානායක සහෝදරයා ඒ සඳහා සූදානම්. ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්නේ නායකයන් නම්, ඒ නායකයන්ගේ ආර්ථික ප්‍රතිපත්තිය ඒ නායකයන්ගේ වගවීමක් සහිතව ජනතාව දැනගැනීම තමයි වැදගත්.”