“මේ රටේ ප්‍රතිපත්වලින් අඩුවක් නැහැ. ප්‍රතිපත්ති සම්පාදනයට සම්බන්ධ වුණු කෙනෙක් හැටියට මටත්, සීතා සහෝදරියටත් එවැනිම අත්දැකීම් තිබෙනවා. ප්‍රතිපත්ති සම්පාදනයට අපට ආරාධනා කරනවා. ඒ ප්‍රතිපත්ති ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒ, ප්‍රතිපත්ති ක්‍රියාත්මක වෙන්න පුළුවන් දේශපාලන සංස්කෘතියක්, ඒකට අදාළ පාලනයක් රටේ බිහිවෙලා නැති නිසා. මේ රටේ පාලකයන්ට ප්‍රතිපත්ති අනුව වැඩ කරන්න බැහැ. ප්‍රතිපත්තිවලට අනුව වැඩ කළොත් ඒගොල්ලන්ට හොරකම් කරන්න, දූෂණයේ යෙදෙන්න, නාස්ති කරන්න බැහැ. ඒ නිසා ඒගොල්ලන්ට ප්‍රතිපත්ති අදාළ නැහැ. ඔවුන් දේවල් ක්‍රියාත්මක කරන්නේ ඔවුන්ගේ හිතමිතුරු චෞර වළල්ලේ වුවමනාවට. විද්‍යාව, දත්ත, විශ්ලේෂණය, ජනතා සහභාගිත්වය තුළින් හැදුණු ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න නොවෙයි. ඒ නිසා අපි හිතනවා ප්‍රතිපත්තිවලට අනුව ක්‍රියාත්මක වෙන රටක් හදන්න නම්, දේශපාලන වෙනසක් අවශ්‍යයි.” යැයි ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික ආචාර්ය හරිනි අමරසූරිය අවධාරණය කරයි.
ඇය මේ බව අවධාරණය කළේ ඊයේ (30) පැවති “ගැහැනු අපි එක මිටට මාලිමාවට” කෑගල්ල දිස්ත්‍රික් කාන්තා සමුළුව අමතමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික ආචාර්ය හරිනි අමරසූරිය,
“අද අපේ රට අතිශයින්ම තීරණාත්මක තැනකට ඇවිත් තිබෙනවා. අපේ අත්දැකීම් තුළින්, අපේ ගෙවල්වල, වැඩකරන තැන්වල, සමාජය තුළ අපි කරන අරගලවලින් මේ සමාජය කොච්චර කඩා වැටිලාද කියන පාඩම් ගණනාවක් උගන්වා තිබෙනවා. මේ සමාජය වෙනස් විය යුතුයි කියලා අපි සියලු දෙනා එකඟ වෙලා තිබෙනවා. ඔබ ඇතුළු අපි කවුරුවත් දේශපාලනය කරන්න හිතපු අය නොවෙයි. අපි මුහුණ දෙන අභියෝග, ගැටලු තනි තනිවම විසඳන්න බැහැ, අපි එකතු වෙලා උත්තර සෙවිය යුතුයි කියන තීරණයෙන් හා අධිෂ්ඨානයෙන් අපි එකතු වී සිටිනවා. අපේ ශක්තිය පිළිබඳව අපි මෙතරම් කාලයක් හිතුවේ නැහැ. අපි ඒක පළමුවැනි වතාවට මාතරින් තේරුම් ගත්තා. අපි එය මුළු ලෝකයටම පෙන්නුවා.
මේ දේශපාලන වේදිකාව මත කලාව සාහිත්‍යය, ගීත, නැටුම්, ගැයුම් ඉදිරිපත් වුණා. ගැහැනු අපේ ශක්තිය, ආදරය පෙන්නුම් කරන ගැහැනු කතා, සිංදු ලියවෙලා තිබෙනවා. වරක් පත්තිනි දේවිය හැටියටත් වරෙක කාලි දේවිය ලෙසත් ආමන්ත්‍රණය කර තිබෙනවා. කුණ්ඩලකේසි මතක් වෙලා තිබෙනවා. මේ සියල්ලම අපි ගැන කියැවුණු කතා. අපේ ශක්තියත්, ධෛර්යයත් දැනිලා වේදිකාව තුළ අදහස් ප්‍රකාශ වුණා. අපිව සාගරයක් හැටියටත් විස්තර කළා. කුණාටුවක් හැටියටත් හඳුන්වා දුන්නා. ඒක ඇත්ත. සාගරයක් තරම් ගැඹුරුයි. අපි සියලු දෙනා තුළම ඒක තිබෙනවා. ගැහැනු අප විසින් හැදුණු කුනාටුව නතර වෙන්නේ මේ රට සුද්ධ කරලා. අපි නිවාඩුවක් ගන්නේ මේ රට පරිවර්තනය කරලා. නවත්වන්නත් බැහැ. නවත්වන්නෙත් නැහැ. ඒ ශක්තිය තමයි අද මේ සමාජයට දැනෙන්නේ. අද බලයේ ඉන්න අයටත්, බලයට එන්න හදන අයටත් දැනිලා තිබෙන්නේ. සියලු දෙනාගේම ශක්තිය, ධෛර්යය, අභිමානය තිබෙන කාන්තා බලය තමයි අද මේ රට හොල්ලලා තිබෙන්නේ. ගැහැනු අපි ශක්තිය එකතු කරමින් මේ රට තීරණාත්මක ලෙස වෙනස් කර ඉවරයි. ඒක අපට දේශපාලන තලයේ දැනෙනවා. අද සමාජයේ විවිධ කණ්ඩායම්, මේ සමාජ පරිවර්තනය වළක්වන්න හදන අය කලබල වෙලා තිබෙනවා. මේ නිසා අපට විවිධ ප්‍රශ්න, විවිධ කතා, විවිධ අභියෝග එල්ල කරනවා. දේශපාලන රූපවාහිනී සංවාදයකට ගියත්, වේදිකාවේත් මාතෘකාව එකයි. ඒ තමයි ජාතික ජන බලවේගය පුරවැසියන් සමග ඇති වෙමින් යන සමාජ සම්මුතිය, ගොඩනැඟෙමින් යන විශ්වාසය බිඳින්නේ කොහොමද කියන එක තමයි දේශපාලන ප්‍රතිවාදියාගේ ලොකුම අරමුණ.
ඔවුන් ප්‍රශ්න කිහිපයක් අපට එල්ල කරනවා. අපට ප්‍රතිපත්ති නැතිලු. 2019 මැතිවරණ අවස්ථාවේ ජනාධිපතිවරණයට ඉදිරිපත් කරපු ප්‍රතිපත්ති මාලාව අරගෙන ඒකෙ අඩුපාඩු අපට පෙන්නුම් කරනවා. අපි කියන්නේ කලබල වෙන්න එපා. අපි මැතිවරණය නිල වශයෙන් ප්‍රකාශ වුණාම, අපේ වැඩපිළිවෙළ අපි එළියට දමන්නම්. එතකොට අපි සංවාද කරමු. ජාතික ජන බලවේගය කියන්නේ දේශපාලන දර්ශනයක් මත, ඒ දර්ශනයෙන් ලබාගත් මූලධර්ම පදනම් කරගත්, ප්‍රතිපත්ති හදමින් යන ඒ ප්‍රතිපත්තිවලට අනුකූලව වැඩපිළිවෙළකුත් ජනතාවට ඉදිරිපත් කරන ව්‍යාපාරයක්. මීට පෙරත් අපි එසේ කර තිබෙනවා. මේ වතාවෙත් අපි ඒක කරනවා. අපේ වැඩපිළවෙළ තුළ වෙනස් වෙන ස්වභාවයකුත් තිබෙනවා. අද රට තුළ සමාජ තත්ත්වය තුළ ඇතිවෙලා තිබෙන කොන්දේසිවලට අනුකූලව අපේ වැඩපිළවෙළ ඉදිරිපත් කරනවා. අපි අලුත් වෙන දේශපාලන ව්‍යාපාරයක්. අපේ මූලධර්ම වෙනස් කරන්නේ කලාතුරකින්. මේ මූලධර්ම දේශපාලන දර්ශනය තුළින් ලබාගන්න නිසා අපිට මූලධර්ම වැදගත්. ඒ ගැන ලොකු විස්තරයක් නොකීවාට, එය සමානාත්මතාවය සහ සමාජ සාධාරණත්වය තිබෙන සමාජයක් බිහිකිරීම වෙනුවෙන් හැදෙන දේශපාලන දර්ශනයක්. ඒ අනුව තමයි අපේ ප්‍රතිපත්ති හදන්නේ. දේශපාලන ප්රජාතන්ත්රවාදයත්, ආර්ථික ප්රජාතන්ත්රවාදයත් එහි ප්‍රධානම මූල ධර්ම හැටියට අපි දකිනවා.
මේ රටේ ප්‍රතිපත්වලින් අඩුවක් නැහැ. ප්‍රතිපත්ති සම්පාදනයට සම්බන්ධ වුණු කෙනෙක් හැටියට මටත්, සීතා සහෝදරියටත් එවැනිම අත්දැකීම් තිබෙනවා. ප්‍රතිපත්ති සම්පාදනයට අපට ආරාධනා කරනවා. ඒ ප්‍රතිපත්ති ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒ, ප්‍රතිපත්ති ක්‍රියාත්මක වෙන්න පුළුවන් දේශපාලන සංස්කෘතියක්, ඒකට අදාළ පාලනයක් රටේ බිහිවෙලා නැති නිසා. මේ රටේ පාලකයන්ට ප්‍රතිපත්ති අනුව වැඩ කරන්න බැහැ. ප්‍රතිපත්තිවලට අනුව වැඩ කළොත් ඒගොල්ලන්ට හොරකම් කරන්න, දූෂණයේ යෙදෙන්න, නාස්ති කරන්න බැහැ. ඒ නිසා ඒගොල්ලන්ට ප්‍රතිපත්ති අදාළ නැහැ. ඔවුන් දේවල් ක්‍රියාත්මක කරන්නේ ඔවුන්ගේ හිතමිතුරු චෞර වළල්ලේ වුවමනාවට. විද්‍යාව, දත්ත, විශ්ලේෂණය, ජනතා සහභාගිත්වය තුළින් හැදුණු ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න නොවෙයි. ඒ නිසා අපි හිතනවා ප්‍රතිපත්තිවලට අනුව ක්‍රියාත්මක වෙන රටක් හදන්න නම්, දේශපාලන වෙනසක් අවශ්‍යයි. ඒ දේශපාලන වෙනස වෙනුවෙන් තමයි මේ සියලු දෙනාම පෙළගැසෙමින් යන්නේ. ඒ දේශපාලන වෙනසට තමයි මහජන නියෝජතයනුත්, පුරවැසියනුත් අතර අලුත් සමාජ සම්මුතියක් සඳහා මේ සාකච්ඡාව ගෙනියන්නේ. මේ සියලු දෙනාම එකතු කරන්නේ. ඒ අලුත් සමාජ සම්මුතිය අනුව තමයි අපි ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්නේ. ඒ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න පුළුවන් පාලනයක් අපි ගොඩනගන්නේ. ඒක අත්‍යවශ්‍යයි. ඒ දේශපාලන වෙනස සිදුවෙන්නේ නැතිව මේ රටේ තිබෙන හොඳම ප්‍රතිපත්ති ගෙනාවත් වෙනස කර ගන්න බැහැ. මේ අවුරුද්ද තුළ ප්‍රතිපත්ති අනුව ජනතාව මුල්කර ගත් ජනතාවාදී පාලනයක් පිහිටුවීමේ අරමුණ ඉටු කර ගත යුතුයි. ඔබගේ අනුමැතිය අනුව තමයි ඒ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන්නේ.
මේ දේශපාලනය පරිවර්තයන කිරීමට නම් අපි සියලු දෙනාගෙන් ඉටුවිය යුතු කාර්යයක් තිබෙනවා. අපිට තීරණාත්මක මැතිවරණයක් එනවා, ඒ මැතිවරණය අපි දිනනන්න ඕනෑ. ඒ වගේම ඒ ජයග්‍රහණය අපි ආරක්ෂා කර ගන්න ඕනෑ. නායක මණ්ඩලය පමණක් නොවෙයි, අප නියෝජනය කරන දේශපාලන සංස්කෘතියත්, දේශපාලන භාවිතාවත් අපි ආරක්ෂා කරන්න ඕනෑ. ඒ වෙනුවෙනුත් අපි මේ වෙලාවේ සූදානම් විය යුතුයි. මේ සමාජ පරිවර්තනය තුළ අපේ දේශපාලන සංස්කෘතියත්, දේශපාලන භාවිතයත් ප්‍රබල වෙනසකට භාජනය කරනවා. ඔබ බැලුවොත් මීට පෙර මේ රටේ සිදුවුණු සියලුම මැතිවරණවලින් පස්සේ පත්වුණු හැම ආණ්ඩුවක්ම මොකක්ද කළේ, ප්රතිවාදියාගෙන් පළි ගන්නවා. තමන්ට පක්ෂපාතී රාජ්‍ය නිලධාරීන් ලංකර ගන්නවා. තමන්ට වෙනස් අදහස් දරන රාජ්‍ය නිලධාරීන් එළවා ගන්නවා. තමන්ට වැඩ කළා කියන පාක්ෂිකයන්ට වරප්‍රසාද බෙදනවා. අනෙක් අය කොන්කරනවා. එතකොට හැම මැතිවරණයක්ම අවසානයේ ආණ්ඩුවේ මුල්කාලයේ රාජ්‍ය අනුග්‍රහයෙන්ම පළිගැනීම් සිදු කරනවා. ඔය සංස්කෘතිය ක්‍රියාත්මක කරපු, ඒ සංස්කෘතිය මේ රට තුළ තහවුරු කළ අයම තමයි අපට පළිගන්නවා කියන චෝදනාව එල්ල කරන්නේ. ඒ කණ්ඩායම තුළ තමයි මැර බලය තිබෙන්නේ. රාජ්‍ය බලය පාවිච්චි කර මේ රටේ සියලුම ජනතාවට ලැබිය යුතු වරප්‍රසාද තමන්ට පක්ෂපාතී අයට පමණක් බෙදන, ඒ දේශපාලන සංස්කෘතිය ආරම්භ කළේ සහ පවත්වාගෙන ගියේ ඒ කණ්ඩායම තමයි.
අදටත් අපි ගම්වලට ගියාම, මෙවැනි සමුළු පවත්වන කොට අනෙක් පැත්තෙන් “මාලිමාවේ රැස්වීමට ගියොත් අස්වැසුම කපනවා. ඊළඟ දවසේ ට්‍රාන්සර් කරනවා” කියලා තර්ජනය කරනවා. අදටත් ඔය පණිවිඩය ඒගොල්ලෝ කියනවා. මෙවැනි දවස්වලට හදිසියේ බඩු බෙදන්න ගම්වල කට්ටිය ලැහැස්ති වෙන්නේ නැද්ද? ඒ කියන්නේ මොකක්ද? ඒ ගොල්ලන්ගේ පළිගැනීමේ දේශපාලනය අදටත් කරගෙන යනවා. අදටත් ඒගොල්ලන්ගේ දේශපාලන සංස්කෘතිය තුළ තිබෙන්නේ එවැනි අරමුණක්. ශිෂ්ට සම්පන්න රටක ආණ්ඩුවක් පත්වුණාම ක්‍රියාත්මක වෙන්නේ තමන්ගේ පාක්ෂිකයන් වෙනුවෙන් විතරක් නොවෙයි, මුළුරටම වෙනුවෙන්. නමුත් අවුරුදු 76ක් තුළ ආණ්ඩු පත්වුණේ ඒ ආණ්ඩු හිතවතුන් වෙනුවෙන් විතරයි. ඒ පළිගැනීමේ දේශපාලන සංස්කෘතිය අවසන් කරනවා. අපේ ආණ්ඩුව තුළ අපි බලන්නේ නැහැ කාටද උදවු කළේ, කවුද අපට උදව් කළේ කවුද අපට ඡන්දෙ දුන්නේ, කවුද අපිත් එක්ක වැඩ කළේ, ඒ ගොල්ලන්ට විශේෂ වරප්‍රසාද නොවෙයි. ආණ්ඩුව පත්වුණාට පස්සේ සියලු දෙනාටම සාධාරණව, සියලු පුරවැසියන්ට සමානව සලකනවා. හැබැයි නීතිය ක්‍රියාත්මක කරනවා. නීතිය ක්‍රියාත්මක කිරීමේදී පවුල් පසුබිම, පක්ෂපාතිත්වය අදාළ වෙන්නේ නැහැ. නීතිය කැඩුවා නම් ඒකට ක්‍රියාත්මක වෙන්න පොලීසිය, අධිකරණය තිබෙනවා. ස්වාධීනව ක්‍රියාත්මක වෙන්න අපේ ආණ්ඩුව බාධාවක් වෙන්නේ නැහැ. ඒකත් මතකයේ තබා ගන්න. මේ දවස්වල වුණත් බලයේ ඉන්න අයගේ බලපෑම මත වැරදි දේවල් කරන්න පෙළඹෙන නිලධාරීන්ට අපි කියනවා පරෙස්සම් වෙන්න. නීත්‍යානුකූලව ක්‍රියාත්මක වෙන්න. විශේෂයෙන්ම මැතිවරණ කාලය තුළ ඔවුන්ට ඕන දෙවල් කරවා ගන්න, නීති උල්ලංඝනය කරන්න විශාල බලපෑමක් නිලධාරීන්ට එල්ල වෙනවා. නමුත් රටේ නීතියට ගරු කරන්න. අලුත් දේශපාලන සංස්කෘතිය තුළ දේශපාලන පක්ෂපාතිත්වයෙන් නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැහැ.
ගැහැනු අපට මේක අතිශයින්ම වැදගත්. ඒ පළිගැනීමේ දේශපාලන සංස්කෘතිය තුළ බොහෝ විට බැට කෑවේ අපි. මේ රට ලේ විලක් බවට පත්වුණු අවස්ථා ගණනාවක් තිබෙනවා. ඒවායේ වැඩිම බලපෑම් ආවේ ගැහැනු අපට. ඒ නිසා ගැහැනු අපි විශ්වාස කරනවා මේ රටට සුවපත්වීමක් අවශ්‍යයි. මැර බලයෙන්, ප්‍රචණ්ඩත්වයෙන් පළිගැනීම නිසා දුක්වින්දා ඇති. අපේ දරුවන්, සහොදරවරුන්, සහොදරියන්, ආදරවන්තයන් නැතිවුණා හොඳටම ඇති. මේ රට ලේ හැලුවා හොඳටෝම ඇති. මේ රට සුවපත් කිරීමේ හැකියාව තිබෙන්නේ ගැහැනු අපට. ඒ නිසා අපේ නායකත්වය මේ සමාජ පරිවර්තනයට අතිශයින්ම වැදගත් වෙනවා. අපි සියලු දෙනා තුළම ඒ හැකියාව තිබෙනවා. අපි දරුවෙක් නලවන්න, වැඩිහිටියක් සනසන්න, තව කෙනෙක්ගේ දුකට ඇහුම්කන් දෙන්න, කෙනෙක් තේරුම් ගැනීමේ හැකියාව අපේ සංස්කෘතිය තුළ වැඩියෙන් ලැබී තිබෙන්නේ ගැහැනු අපටයි. අපේ සමාජ පරිවර්තනය තුළ අපේ සහෝදරවරුන් තුළත් ඒ හැකියාව වර්ධනය වෙයි කියා අපි විශ්වාස කරනවා. ඒ හැකියාව අදටත් අප තුළ තිබෙන නිසා, මේ රට සුවපත් කරන, ආදරය මත සංවිධානය වුණු ආදරය ප්‍රකාශ කරන්න පුළුවන්, සියලු දෙනා සුරැකෙන ඒ ක්‍රියාවලියට නායකත්වය ගැහැනු අපෙන් ලැබිය යුතුයි.
ඔබ මේ සම්බන්ධ වෙන සමාජ පරිවර්තනය දිහා බලන් ඉන්නෙ අපේ රටේ අය විතරක් නොවෙයි, මේකෙ බලපෑම ලෝකෙටම දැනී තිබෙනවා. මෙතරම් විශාලව දේශපාලනිකව සන්නද්ධ වුණු ගැහැනු බලවේගයක් ලෝක ඉතිහාසයේ මීට පෙර තිබී නැහැ. මේ වෙනස තීරණාත්මකයි; ඓතිහාසිකයි. ඔබ ඉතිහාසය වෙනස් කරන ඉතිහාසය අලුතින් ලියන ගැහැනුන් බවට පත්වෙලා ඉවරයි. අපි අලුතින් ලියන ඉතිහාසය තුළ නායකත්වය ගන්න දැන් අපි සූදානම් විය යුතුයි. ඒ සමාජ පරිවර්තනය ආරක්ෂා කිරීමටත් අපි ඉදිරිපත් විය යුතුයි. ඒ පරිවර්තනය කළායින් පස්සේ නිදහස්, නිවහල්, දුක නැති, අරගල කරන්න ඕන නැති සමාජයක් බිහිකරන්න අපට පුළුවන් වෙයි. ඒ සඳහා ඔබ සියලු දෙනාටම ශක්තිය ධෛර්යය ප්‍රාර්ථනා කරනවා.”