ජාත්‍යන්තර වෙළඳ කටයුතු සඳහා සිදුවන නීතිවිරෝධී මූල්‍ය ප්රවාහයන්ට එරෙහිව සටන් කිරීම සඳහා ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල නොවන ඕනෑම පද්ධතියක් අවදානම් සහගත විය හැකි බවට ඇමරිකානු එක්සත් ජනපද භාණ්ඩාගාර ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් වන BRENT NEIMAN තම කනස්සල්ල පළ කර ඇත. මෙම ප්‍රකාශයන් පැමිණෙන්නේ BRICS රටවල් බටහිර හා ඇමරිකාව විසින් මේ දක්වා පවත්වාගෙන යන Western Swift වේදිකාව සඳහා BRICS-Bridge නමින් නව බයිපාස් පද්ධතියක් නිර්මාණය කිරීමට කටයුතු කරමින් සිටින අතරතුර වගේම යුධ යුක්රේන-රුසියා යුධ පිටියද උණුසුම් වන තත්වයක් තුලය.
මේ වන විට රුසියානු-යුක්රේන යුධ පෙරමුණ උණුසුම් වෙමින් පවතින්නේ ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් විසින් යුක්රේනයට දුර දිග මිසයිල රුසියානු භූමියට එල්ල කිරීමට අවසර දීම හා එම අවසරය මත රුසියාව වෙතට ඇමරිකානු-මහා බ්‍රිතාන්‍ය විසින් නිෂ්පාදනය කල ATCMS හා STORM SHADOW මිසයිල යොදා ගනිමින් යුක්රේනය විසින් රුසියාවට එල්ල කරන ලද ප්‍රහාරයත් සමගය. එයට පිළිතුරු ලෙස රුසියාව විසින් සුපර් සොනික් මහද්වීපික මිසයිලයක් වන RS -26 හෝ IRBM හෝ ORCHNIK ලෙස හැඳින්වෙන න්‍යෂ්ටික අමුද්‍රව්‍ය නොමැතිව නව මිසයිලයක් එල්ල කිරීමත් නිසා සමස්ථ බටහිරම කැළඹී තිබිණි. එසේම රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටීන් විසින් රුසියානු හමුදා සඳහා න්‍යෂ්ටික අවි යොදා ගැනීම සඳහා ලබා දෙන විශේෂ අවසරය සඳහා ද අත්සන් තබා ඇත. මෙම නව අවියට මුහුණ දීම සඳහා යුක්රේන පාලනය නව දිගු දුර අවි ඇමරිකාවෙන් හා බටහිරින් ඉල්ලා සිටින්නේ ලබන ජනවාරියේදී ට්‍රම්ප් පාලනය විසින් තමන්ට ලබාදෙන යුධ අවි සීමා කළහොත් යුද්ධයෙන් පරාජය වීම ස්ථිර බවට ද අවධාරණය කරමිනි.
කෙසේවෙතත් බටහිර මිලිටරි වාර්තා සඳහන් කරනුයේ පසුගිය ජුලි මාසයේ සිට යුක්රේනයට තම බිම් වලින් 40%ක් අහිමි වී ඇති බවයි. එසේම යුක්රේනය විසින් රුසියානු බිම ආක්‍රමණය කර එරට KURSK භුමි ප්‍රදේශය අල්ලා ගැනීම නිසා රුසියාව මෙම බිම් නැවත අල්ලා ගැනීම සඳහා හමුදා භටයින් 60000ක් යොදා ගෙන ඇති අතර ඊට අමතරව උතුරු කොරියානු භටයින් 10000ක් ද සහය සඳහා කැඳවා ඇති බව වාර්තා වේ. නමුත් රුසියාව එය ප්‍රතික්ෂේප කරන අතර ඇමරිකානු රාජ්‍ය ලේකම් LIOYD AUSTIN ද පවසන්නේ ඒ සම්බන්ධයෙන් ද්‍රව්‍යමය තොරතුරු නොමැති වුවත් එය බැහැර නොකරන බවයි.
කෙසේවෙතත් රුසියාව පවසන්නේ තම භුමිය තුලට ATCMS මිසයිල එවීමේ හැකියාවක් නේටෝ හි සැටලයිට් හා විශේෂඥ සහය නොමැතිව යුක්රේනයට එල්ල කල නොහැකි බවත් තමන් නොවැම්බර් 21 වනදා අත්හදා බලන ලද නව මහද්වීපික මිසයිලය ORECHNIK මගින් කිලෝ මිටර් 5000ක් ආවරණය වන දුරක පිහිටා තිබෙන බ්‍රිතාන්‍ය හා ඇමරිකානු හමුදා කඳවුරු ඉලක්ක කර ඇති බවත්ය. මෙම නව තත්වය තුල නේටෝ සංවිධානය හා ට්‍රම්ප් අතර හමුවක් ඊයේ පැවැති අතර නොවැම්බර් 26 වනදා හදිසි රැස්වීමක්ද බෙල්ජියමේ බ්‍රසල්ස් නුවරදී පැවැත්වීමට නියමිතය. උතුරු කොරියාව යුද්ධයට පැටලීම නිසා ගැටුම ජාත්‍යන්තර වෙමින් පවතින බව මේ අතර යුධ විශේෂඥයයින් පෙන්වා දේ.
යුද්ධය මෙසේ ජාත්‍යන්තර කරණය වෙමින් පවතින විට ඊයේ අන්තර් ජාතික මුල්‍ය අරමුදල රුසියාව සම්බන්ධයෙන් නිකුත් කල නවතම වාර්තාව අනුව 2024 සඳහා එරට ආර්ථික වර්ධන වේගය 3.6%GDB අගයක් ලෙස ගණන් බලා ඇත. යුධ ආයුධ නිෂ්පාදනය, හමුදා පවුල් සඳහා ලබා දෙන ආධාර ඉහල දැමීම, රජයේ සේවකයින්ගේ වැටුප් ඉහල දැමීම, ශ්‍රම බලකායේ හිඟ කම වැනි කාරනා නිසා උද්ධමනය 8%ක් ලෙසත් පොලී අනුපාතය 21%ක් ලෙසත් වාර්තා වේ. ඒ අනුව බටහිර විසින් එල්ල කර ඇති සම්බාධක හේතුවෙන් ඉදිරි වසර තුල ජීවන වියදම ඉහල යාමට ඉඩ ඇති බවත්, බදු ප්රතිපත්තියද ඉහල යාමට ඉඩ තිබේ. යුද්ධය තව දුරටත් උත්සන්න වෙද්දී මේ වන විට රුසියානු බලාධිකාරය විසින් තම සංචිත(souvrain fonds) වන ඩොලර් බිලියන 50 වියදම් කරමින් සිටි. එය එරට දල ජාතික අදායමෙන් 2,5%GDBක් නියෝජනය කරනු ලබයි.
මෙම ආර්ථික සම්බාධක හමුවේ විකල්පයක් ලෙස රුසියානු පාලනයට ඉතිරිව ඇත්තේ පෙට්රො-ඩොලර් මත ගොඩ නගා ඇති ඇමරිකානු ගෙවීම් ක්‍රමය වන WESTERN SWIPT වෙනුවට BRICS හවුල හරහා නව ගෙවීම් ක්‍රමයක් ක්‍රියාවට නැංවීමයි. රුසියාවේ බොහෝ ප්‍රාදේශීය බැංකු වල SWIFT වෙනුවට දැනටමත් චීන ගෙවීම් ක්‍රමය වන CIPS පද්ධතිය වෙත ප්‍රතිස්ථාපනය වෙමින් පවතී. මෙමගින් යුවාන් මගින් ගෙවීම් සිදු කිරීම සඳහා චීන CIPS ක්‍රමය භාවිතා කිරීම අඛණ්ඩව වර්ධනය වෙමින් පවතී.
2022 දී යුද්ධය ආරම්හයත් සමග රුසියානු බැංකු බොහොමයක් බටහිර මූල්‍ය ජාලයෙන් ඉවත් කිරීම නිසා මොස්කව් පාලනය SWIFT වෙනුවට විශ්වාසදායක විකල්පයක් ලෙස තමන්ගේම ජාතික ගෙවීම් පද්ධතියක් ප්‍රවර්ධනය කරනු ලැබුවේය. රුසියානු අන්තර් බැංකු පණිවුඩකරණ පද්ධතිය ලෙස SPFS නමින් 2014 දී නිර්මාණය කරන ලද අතර එය බටහිර SWIFT වෙනුවට විකල්පයක් ලෙස ක්‍රියා කරයි. එය රට තුළ සහ ඉන් පිටත බැංකු අතර මූල්‍ය පණිවිඩ ආරක්ෂිතව මාරු කිරීම සහතික කර ඇත.
ජනවාරි මාසයේදී රුසියානු බැංකුව පැවසුවේ රටවල් 20 ක විදේශීය බැංකු සහ සංවිධාන 557 කට රුසියානු SPFS වෙත ප්‍රවේශය වී ඇති බවයි.
නව මුල්‍ය වාර්තා වලට අනුව, මුල්‍ය ගනුදෙනු වලදී රුබල් සහ යුවාන් වලට අනුග්‍රහය දැක්වීමට ගත් තීරණය රුසියාව සහ චීනය අතර වෙළඳාමේ ශක්තිමත් වර්ධනයක් ඇති කළේය. 2023 දී ද්විපාර්ශ්වික වෙළඳ පරිමාව ඩොලර් බිලියන 240 දක්වා ළඟා වූ අතර, චීනයෙන් සිදුකරන රුසියානු ආනයනය 47% කින් එනම් ඩොලර් බිලියන 111 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, ආසියානු රටවල් වෙත සිදුකල අපනයනයන් මගින් ඩොලර් බිලියන 129ක් දක්වා එනම් 12.7% කින් වැඩි වී ඇත. මෙහිදී රුසියානු සෘජු ආයෝජන අරමුදල (RDIF) හරහා රුසියාවේ සහ චීනයේ ආයෝජන ව්‍යාපෘති රාශියක් ඒකාබද්ධව ක්‍රියාත්මක කර ඇති අතර රාජ්‍යයන් දෙක අතර වැඩි ආයෝජන සහයෝගීතාවක් වර්ධනය වීම ඇමරිකාවේ හා බටහිර දැඩි විමසිල්ලට භාජනය වී ඇත. ගෝලීය ආර්ථිකය වඩාත් විවෘත හා අපක්ෂපාතී විය යුතු බව අවධාරණය කරමින් රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් ජාත්‍යන්තර මුල්‍ය ගණුදෙනු සඳහා නව ස්වාධීන මූල්‍ය සම්මුති නිර්මාණය කරන ලෙස BRICS සාමාජික රටවලින් ද නැවත නැවතත් ඉල්ලා සිටියේය.
මේ අතර පසුගිය දා මුළුදුන් BRICS කන්ඩායම් සමුළුවේදී ද ජාත්‍යන්තර මුදල් ගණුදෙනු ප්‍රවර්ධනය කිරීම සඳහා විකල්ප මූල්‍ය පද්ධති පිහිටුවීමේ උත්සාහයන් වේගවත් කිරීමට තීරණය කෙරිණි. බ්‍රසීලය, රුසියාව, ඉන්දියාව, චීනය සහ දකුණු අප්‍රිකාවෙන් සැදුම්ලත් මෙම ආර්ථික සන්ධානය, blockchain හෝ වෙනත් ක්‍රම භාවිතා කරමින් විනිවිද පෙනෙන ජාත්‍යන්තර ගෙවීම් පද්ධතියක් නිර්මාණය කිරීමට කටයුතු කර ඇත. තවද, නව වාර්තා වලට අනුව, මෙම මුලපිරීම සඳහා නුදුරු අනාගතයේ දී විදේශීය රටවල් 159 කට වඩා සංඛ්‍යාවක් ඒ සඳහා ඇතුළත් විය හැකි බව Crypto News Flash පුවත් වාර්තා පෙන්වා දේ.
මෙම විකල්ප ගෙවීම් ක්‍රමය බ්ලොක්චේන් තාක්ෂණයෙන් බලගැන්විය හැකි බවට වාර්තා කිහිපයක් යෝජනා කර ඇත. එය රුසියානු රූබල් සහ චීන යුවාන් වැනි (ඩොලරය හැර) වෙනත් මුදල් මගින් සිදු කරන ගනුදෙනුවලට ප්‍රමුඛත්වය දෙනු ඇත. රුසියානු මධ්‍යම බැංකුවේ ජාතික ගෙවීම් පද්ධතියේ ප්‍රධානී Alla Bakinaට අනුව, රුසියානු ගෙවීම් ක්‍රමය වන SPFS විසින් රටවල් 20 කින් විදේශීය සහභාගිවන්නන් 160 කට අධික සංඛ්‍යාවක් සාර්ථකව එය තුලට ඇතුල් කර ගෙන ඇත. ඒවා අතර කියුබානු බැංකු දෙකක් හා රුසියාවේ මිත්‍ර රටවල් වන ආර්මේනියාව, කසකස්තානය සහ බෙලෝ රුසියාව ද ඇතුළත් වේ.
එසේම BRICS සමූහය එහි ඩොලර් වලින් ඉවත්වීම මුලපිරීම සමඟ ඉදිරියට යාමේදී ක්‍රිප්ටෝ මුදල් ඒකක වැදගත් කාර්යභාරයක් ඉටු කරනු ඇතැයි අපේක්ෂා කෙරේ. උදාහරණයක් ලෙස රුසියාව, ක්‍රිප්ටෝ මුදල් ඒකක රාශියක් නීතිගත කර ඇත. ජාත්‍යන්තර ගනුදෙනු සක්‍රීය කිරීම සඳහා ජාතික වශයෙන් නව ක්‍රිප්ටෝ මුදල් ක්‍රම හුවමාරු ක්‍රමවේද දෙකක් දියත් කිරීමට ද අපේක්ෂා කෙරේ. තවද ක්‍රිප්ටෝ මුදල් සඳහා පුළුල් නියාමන රාමුවක් සංවර්ධනය කිරීමට ඉන්දියාව ද මේ අතර සූදානම් වේ.
ඒ අනුව BRICS සාමාජික රටවල් සඳහා නව ගෙවීම් පද්ධතියක් වන BRICS Bridge නිර්මාණය කිරීම පිළිබඳව රුසියානු මුදල් අමාත්‍යාංශය සහ මහ බැංකුව සාකච්ඡා කරමින් සිටින බව රුසියානු මහ බැංකුවේ සභාපති ආර්ථික විද්‍යාඥ Elvira Nabiullina පැවසුවේ පසුගිය මාර්තු මාසයේදීය. BRICS සාමුහිකයේ මෙම සියළුම උත්සාහයන් හා අභිලාෂයන් එක්සත් ජනපදය කනස්සල්ලට පත් කරනු ලැබ ඇත.
ජාත්‍යන්තර මූල්‍ය ගණුදෙනු සඳහා වූ එක්සත් ජනපද භාණ්ඩාගාරයේ සහකාර ලේකම් බ්‍රෙන්ට් නෙයිමන් අඟහරුවාදා නීති විරෝධී ක්‍රියාකාරකම්වලට එරෙහිව සටන් කිරීම සඳහා නිර්මාණය කල WESTERN SWIFT ක්‍රම වේදයට විකල්පයක් ලෙස ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල නොවන පද්ධතියක් BRICS සමූහය විසින් පිහිටුවීම නිසා ඇතිවිය හැකි අවදානම් පිළිබඳව විදේශ මුල්‍ය මාධ්‍ය වෙතට අදහස් දක්වමින් අනතුරු ඇඟවීය.
සැලකිය යුතු ජාත්‍යන්තර භාවිතයක් ඇති ඕනෑම නව පද්ධතියක් ගුණාත්මක භාවය සහ ප්රමිතීන් සාක්ෂාත් කර ගැනීම සඳහා කැපවිය යුතු බවත් ඊට එරෙහිව ඇමරිකානු එක්සත් ජනපදය ජාත්‍යන්තර ගෙවීම් සඳහා නායකත්වය ලබා දිය යුතු බව ටද ඔහු යෝජනා කර සිටියේය.
කෙසේවෙතත් ඇමරිකානු භාණ්ඩාගාර නියෝජිතයා ජාත්‍යන්තර මූල්‍ය ස්ථායීතාවයට තර්ජනයක් වන්නේ කුමන විශේෂිත උපාංගය මගින්ද යන්න ඍජුව සඳහන් නොකළත් ඔහුගේ ප්‍රකාශය පැමිණෙන්නේ BRICS රටවල එනම් (බ්‍රසීලය, රුසියාව, ඉන්දියාව, චීනය සහ දකුණු අප්‍රිකාව) නායකයින් ඔක්තෝබර් අවසානයේ ඔවුන්ගේ සමුළුවේදී සාකච්ඡා කළ ඩොලරය සහ බටහිර මූල්‍ය පද්ධතිය මත ඔවුන්ගේ යැපීම අඩු කිරීම ඉලක්ක කරගත් ව්‍යාපෘති කිහිපයක් අතර ස්වාධීන දේශසීමා ගෙවීම් පද්ධතියක් වන BRICS Bridge යන්න කිසිදු සැකයක් නොමැත. එහි අරමුණ බෙල්ජියම පදනම් කර ගනිමින් ක්‍රියාත්මක වන ගෝලීය මූල්‍ය පණිවිඩ ජාලය වන Swift මග හැරීම බවටද කිසිදු සැකයක් නොමැත.
ජාත්‍යන්තර මූල්‍ය ගණුදෙනු වලදී අත්‍යවශ්‍ය සම්බන්ධකයක් වන SWIFT ක්‍රමය මගින් ගනුදෙනු විධිමත් කිරීම සඳහා 11,000කට වැඩි මූල්‍ය ආයතන ප්‍රමාණයක් මෙම ක්‍රම වේදය සමග බද්ධ වී ඇත. මෙම ක්‍රම වේදය හරහා ජාත්‍යන්තර වංචාවන්, මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදී කටයුතු සඳහා මුදල් යෙදවීමට එරෙහිව දැඩි ප්රමිතීන් අනුගමනය කරනු ලැබේ.
blockchain ක්‍රම වේදය මත පදනම් විය යුතු මෙම තරඟකාරී BRICS bridge ව්‍යාපෘතිය මගින් යුක්රේනය ආක්‍රමණයෙන් පසු බටහිර මූල්‍ය සම්බාධක මගින් පීඩාවට පත්ව සිටින රුසියානු ප්‍රමුඛතාවලට හැකියාව ලැබෙන නිසා එයට එරෙහිව හැකි සියළුම ක්‍රියා මාර්ග ගැනීම ඇමරිකාවේ අරමුණ විය හැක. විදේශ වෙලඳ මෙහෙයුම් වල යෙදෙන ප්‍රධාන රුසියානු බැංකු Swift පද්ධතියෙන් බැහැර කිරීම නිසා රුසියාවට ඩොලර් හෝ යුරෝ වලින් ගනුදෙනු කිරීමට ඇති හැකියාව ඇමරිකාව විසින් බාධා පමුණුවා ඇත.
“අපි ඩොලරය ප්‍රතික්ෂේප කරන්නේ නැහැ, අපි ඩොලරයට විරුද්ධව සටන් කරන්නේ ද නැහැ. නමුත් එය භාවිතා කිරීමට අපට අවස්ථාව ලබා නොදෙන්නේ නම්, අපට කුමක් කළ හැකිද? එවිට අපට විකල්ප සෙවීමට බලකෙරෙනවා,” යයි රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් BRICS සමුළුවේ දී පවසා සිටියේ “ඩොලරය ආයුධයක් ලෙස භාවිතා කරන” බවට බටහිර බලවතුන්ට චෝදනා කරමිනි.
විදේශ විනිමය වෙළෙඳපොළේ ගනුදෙනුවලින් 80%කට වඩා වැඩි ප්‍රමාණයක් සහ ජාත්‍යන්තර ගෙවීම්වලින් 40%ක් පමණ වර්තමානයේ තවමත් සිදුවනුයේ ඇමෙරිකානු ඩොලර් හාවිතා කරමිනි. ඩොලරයේ ආධිපත්‍යය දුර්වල කිරීමට උත්සහ කරන ඕනෑම විකල්ප බලවේගයකට එරෙහිව මෙම ඇමරිකානු මූල්‍ය සම්බාධකවලට මුහුණ දීමට සිදුවන බව ආර්ථික විශේඥයන් පෙන්වා දෙන්නේ ලිබියාවේ ගඩාපි පාලනය හා වෙනෙසුවෙලාවේ චාවේස් පාලනය ඩොලරයට එරෙහිව විකල්ප මුල්‍ය ඒකක හඳුන්වා දීමට යාම නිසා ඇතිවූ ප්‍රථිපලයන් පෙන්වා දෙමිනි. එම නිසා ඔවුන්ට නිරතුරු හමුදා කුමන්ත්‍රණ වලට මෙන්ම ලිබියානු නායකයාට පාලනයෙන් බැස යාමට මෙන්ම අවසානයේ මරණයට පවා පත්වීමට සිදු විණි .
කෙසේ වෙතත් ඔවුන් තව දුරටත් පවසා සිටින්නේ ඩොලරයට සැබෑ විකල්පයක් වීමට අවශ්‍ය නම්, නව මුදල් ඒකකයක් ස්ථාවර ආර්ථිකයකින්, “ඉහළ පරිභෝජනය සහ විශාල ආනයනයන් මෙන්ම අපනයනයන් සහිත රටවල් විය යුතු බවයි. එබැවින් මෙම නව මුල්‍ය ඒකකය මගින් වෙළඳාම් සිදු කරන රටවල් ඔවුන්ගේ අපනයන සඳහා මෙන්ම ආනයනය සඳහාද එය භාවිතා කිරීමට හැකිවිය යුතු වුවත් BRICS රටවලට මෙම කොන්දේසිය තවම සපුරා ගැනීමට හැකි වී නොමැත. එහෙත් BRICS Bridge නව මුදල් ඒකකය පිළිබඳව ඇමරිකානු කණස්සල්ල හා යුක්රේන යුධ පිටියේ උණුසුම ත්‍රීව කිරීම අතර යම් හෝ සහබන්ධයක් ඇත්දැයි යන්නත් තවමත් පැහැදිලි නොමැති වුවත් 2025 වසරේ නව ට්‍රම්ප් පාලනයද ඩොලරය ශක්තිමත් කිරීම හා ඇමරිකාව පළමුව යන සංකල්පය ඔස්සේ චීනය, යුරෝපා සංගමය හා රුසියාව සමග වෙළඳ හා මුල්‍ය ගැටුම් උත්සන්න වීමේ හැකියාවද බැහැර කල නොහැකි බව ඔවුන් තවදුරටත් පෙන්වා දේ.