බැංකු මගින් ප්‍රදානය කළ ණය අය කර ගැනීමේ විශේෂ විධි විධාන (සංශෝධන) පනත් කෙටුම්පත තුන් වන වර කියවීම සංශෝධන රහිතව අඟහරුවාදා (මැයි 7) පාර්ලිමේන්තුවේදී සම්මත විය.
කාරක සභා අවස්ථාවේදී සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ ඉදිරිපත් කළ සංශෝධන සම්බන්ධයෙන් පැවති ඡන්ද විමසීමේදී වැඩි ඡන්ද 30කින් එම සංශෝධන පරාජයට පත්විය.
සංශෝධනවලට විරුද්ධව ඡන්ද හතලිස් නවයක් ලැබුණු අතර, ඊට විරුද්ධව ලැබුණේ ඡන්ද 19ක් පමණි.
ඒ අනුව, පරාටේ නීතිය 2024 දෙසැම්බර් මස 15 වන දා දක්වා අත්හිටුවනු ඇත.
පරාටේ නීතිය කරළියට ආ හැටි
පාස්කු ප්‍රහාර මාලාව, කොරෝනා වසංගතය සහ ආර්ථික අර්බුදය හේතුවෙන් ශ්‍රී ලංකාවේ ආර්ථිකය බරපතළ කඩාවැටීමකට ලක්වීමෙන් පසු සාමාන්‍ය ජනතාව මෙන් ම ව්‍යාපාරික ප්‍රජාව ද අසරණ තත්ත්වයකට පත්වූ බව නොරහසකි.
එහි ප්‍රතිඵලය වූයේ, බැංකුවලින් ණය ලබා ගත් බොහෝ ව්‍යාපාරිකයින්ට සහ සාමාන්‍ය ජනතාවට එම ණය පියවීමේ හැකියාවක් නොමැති වීම ය.
මෙවැනි තත්ත්වයක් යටතේ පරාටේ නීතිය සම්බන්ධයෙන් බොහෝ දෙනෙකුගේ අවධානය යොමු වූයේ, 2023 වසරේ දෙසැම්බර් 21 වන දා අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ කළ ප්‍රකාශයක් සමග ය.
ශ්‍රී ලාංකීය ව්‍යාපාරික ප්‍රජාව මේ වන විට මුහුණ දී සිටින පරාටේ නීතිය යටතේ සිය වත්කම් සහ දේපළ පවරා ගැනීමේ ක්‍රියාදාමය තාවකාලිකව අත්හිටුවා ඔවුන්ට කිසියම් නීතිමය රැකවරණයක් ලබා දීම අරමුණු කර ගනිමින් පරාටේ නීතිය යටතේ දේපොළ අත්පත් කර ගත් හා අත්පත් කර ගැනීමට නියමිත ව්‍යාපාරිකයින්ගේ එකමුතුව පැවැත්වූ විශේෂ සමුළුවකදී අමාත්‍යවරයා එම ප්‍රකාශය කළේ ය.
එහිදී ඔහු ප්‍රකාශ කළේ, “පරාටේ නීතිය පිළිබඳව විශාල සංශෝධනයකින් පසු එම නීතියට අදාළව නව පනතක් ගෙන එන,” බව ය.
ඇතැම් වාර්තාවල දැක්වෙන්නේ, පෞද්ගලික රෝහලක් වෙත ලබා දී තිබූ ණය ගෙවීම් පැහැර හැරීමෙන් පසු පෞද්ගලික බැංකුවක් එම රෝහල වෙන්දේසි කර ණය පියවා ගැනීමට පියවර ගැනීමත් සමග මේ සම්බන්ධයෙන් රජයේ අවධානයක් යොමු වූ බව ය.
මොකක් ද මේ පරාටේ නීතිය?
යම් දේපළක් බැංකුවට උකස් කර ණය මුදලක් ලබා ගත් පසු, ඒ ණය මුදල සහ ඊට අදාළ පොළී මුදල මුලින් එකඟ නියමිත කාලවකවානුවේදී ගෙවීමට නොහැකි වුවහොත් ඔබ බැංකුවට ණය මුදල ගෙවීම දිගින් දිගට ම පැහැරහැරිය විට අධිකරණ ක්‍රියාවලියකින් තොරව ණය අය කර ගැනීම සඳහා බැංකු වෙත බලයක් ලබා දී තිබේ.
බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලයේ තීරණයක් අනුව යමෙකු බැංකුවට උකස් කළ දේපළ ප්‍රසිද්ධ වෙන්දේසියකදී විකුණා එයින් බැංකුවට අය විය යුතු ණය හා පොළී මුදල අය කර ගැනීම පරාටේ නීතිය යනුවෙන් සරලව හැදින්විය හැකි ය.
1990ට පෙර මෙම පරාටේ නීතිය යටතේ එන බලතල ලබා දී තිබුණේ ලංකා බැංකුව, මහජන බැංකුව, රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුව වැනි රාජ්‍ය අංශය යටතේ ක්‍රියාත්මක වූ බැංකු සඳහා පමණි.
එහෙත්, 1990 අංක 04 දරන බැංකු මගින් ප්‍රදානය කරන ණය අයකර ගැනීමේ (විශේෂ විධිවිධාන) පනත යටතේ බලපත්‍රලාභී සෑම වාණිජ බැංකුවකට ම, එනම්, රාජ්‍ය හා පෞද්ගලික බැංකු සියල්ලට ම මේ පරාටේ නීතිය යටතේ එන බලය ක්‍රියාත්මක කිරීමේ අවස්ථාව හිමි විය.
පරාටේ නීතිය ක්‍රියාත්මක කළ යුත්තේ කෙසේ ද?
යම් බැංකුවකට උකස් කළ දේපළක් පරාටේ නීතිය යටතේ ප්‍රසිද්ධ වෙන්දේසියකදී විකිණීමට තීරණය කළහොත් ඒ පිළිබඳ ප්‍රසිද්ධ දැන්වීමක් රජයේ ගැසට් පත්‍රයේ සහ සිංහල, දෙමළ, ඉංග්‍රීසි යන භාෂාවලින් අවම වශයෙන් පුවත්පත් තුනකවත් පළ කළ යුතු බව නීතිඥ ප්‍රියන්ත අලගියවන්න, ශ්‍රී ලංකා නීතිඥ සංගමය සංවිධානය කළ වෙබ් සම්මන්ත්‍රණයකදී පැහැදිලි කළේ ය.
එමෙන් ම, එම වෙන්දේසිය පිළිබඳ දැන්වීම ණය ලබා ගත් පුද්ගලයා එනම්, අදාළ දේපළෙහි හිමිකරු වෙත ද ලියාපදිංචි තැපෑලෙන් යැවිය යුතු ය.
එම පනතේ 15 වන වගන්තිය අනුව, වෙන්දේසියකදී දේපළ විකිණීමෙන් පසුව එම දේපළ මිල දී ගත් පාර්ශවයට විකිණීමේ සහතිකයක් නිකුත් කිරීම සදහා බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලයට බලය තිබේ.
එවැනි විකිණීමේ සහතිකයක් නිකුත් කිරීමෙන් පසුව අදාළ දේපළ සම්බන්ධයෙන් ණය ගෙවීම පැහැර හැර තිබූ පුද්ගලයාට තිබූ අයිතිවාසිකම් සියල්ල එම දේපළ, මිල දී ගන්නා තැනැත්තාට හිමි වෙයි.
සෑම ණය මුදලකට ම පරාටේ නීතිය අදාළ ද?
මේ අතර, 2011 අංක 01 දරන බැංකු මගින් ප්‍රදානය කරන ණය අයකර ගැනීමේ (විශේෂ විධිවිධාන ) (සංශෝධන ) පනත හරහා පරාටේ බලය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් යම් සීමාවන් පනවන ලදී.
එනම් යම් ණය මුදලක් රු. මිලියන 05කට අඩු වන අවස්ථාවක එම ණය මුදල ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් පරාටේ බලය ක්‍රියාත්මක කිරීමට බැංකුවට හැකියාවක් නොමැති බවය.
එවැනි අවස්ථාවක ණය ආපසු අය කර ගැනීමට උකසට තබා ඇති දේපළ වෙන්දේසි කිරීමට බැංකුවට බලයක් නොමැති අතර, අදාළ දේපළ වෙන්දේසි කිරීමට අවසර ඉල්ලීමට හෝ ණය සහ පොළිය පියවා ගැනීමට බැංකුව අධිකරණය හමුවට යා යුතු ය.
මේ අතර, රු. මිලියන 5ට ඉක්මවන ණය සදහා පරාටේ ක්‍රමය අනුව සම්පූර්ණ ණය හා පොළී මුදල අය කර ගැනීමෙන් පසුව ඉතිරි වන මුදල ණය ලබා ගත් පුද්ගලයාට බැංකුව විසින් ගෙවනු ලැබිය යුතු ය.
‘පරාටේ නීතිය අත්හිටුවීමෙන් බැංකු පද්ධතිය කඩා වැටීමේ අවදානමක්’
බැංකු මගින් ණය ලබා දෙන්නේ තැන්පත්කරුවන්ගේ මුදල් භාවිත කරමින් වන හෙයින් මුදල් තැන්පත්කරුවන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට පරාටේ නීතිය අත්‍යවශ්‍ය බව මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මේ වසරේ ජනවාරි මාසයේදී පැවති විශේෂ මාධ්‍ය හමුවකදී පෙන්වා දුන්නේ ය.
“බැංකු විසින් ණය පහසුකම් ලෙස දෙනු ලබන්නේ, තැන්පත්කරුවන්ගේ තැන්පතු මුදල්. මේ තැන්පතු මුදල්වලින් ණය ගන්නා අය ඒවා නිසි ලෙස ආපසු නො ගෙවන්නේ නම්, බැංකුවලට අභියෝගයකට ලක් වීමට සිදු වනවා. නිසි ලෙස බැංකු ණය ආපසු නො ගෙවන විට ඒවා නැවත අය කර ගැනීමට සුරැකුම් ලෙස තැබූ වත්කම් බැංකු විසින් පවරා ගැනීමක් කළ යුතු යි. ඒ සඳහා පවතින නීතිය වනුයේ පරාටේ නීතිය යි. මෙම පරාටේ නීතිය මගින් තැන්පත්කරුවන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා වෙනවා. එය ඒ සඳහා අත්‍යවශ්‍ය දෙයක්. මේ නීතිය ඉවත් කර ගන්නා ලෙස විවිධාකාර බලපෑම් කරන්නේ, බැංකු ණය නොගෙවන සුළු පිරිසක්. ඒ නීති ඉවත් කළහොත් එය අනාගතයේදී තැන්පත්කරුවන්ටත්, බැංකු පද්ධතියටත් සිදු කරන විශාල අහිතකර ක්‍රියාවක්”
මේ අතර, ලංකා බැංකු සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රංජන් සේනානායක ද බීබීසී සිංහල සේවයට පැවසුවේ, පරාටේ නීතිය අත්හිටුවීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ බැංකු පද්ධතිය කඩා වැටීමේ අවදානමක් නිර්මාණය විය හැකි බව ය.
“අපි පිළිගන්නවා ඇත්තට ම ණය ගෙවා ගන්න බැරි තත්ත්වයේ ඉන්න පිරිසක් ඉන්නවා. ඒ අය වෙනුවෙන් යම් සහනයක් ලබා දිය යුතු යි. හැබැයි මේ පරාටේ නීතිය අත්හිටුවීමෙන් සිද්ධ වෙන්නේ, ණය නොගෙවා ඉන්න මහා පරිමාණ ව්‍යාපාරිකයෝ කිහිප දෙනෙකුට වාසි අත්වෙන එකයි. බැංකුවක් සතු මුදල් ණය ලෙස දෙන්නේ දේපළ සුරැකුමක් තබාගෙනයි. ඒ දේපළ බැංකුව සතු වුණාට බැංකුව පවත්වාගෙන යන්න බෑ. බැංකුව පවත්වගෙන යන්න නම් මුදල් අවශ්‍ය යි. ණය ගත්ත පිරිස් ණය සහ පොළිය ගෙවන්නේ නැත්නම් බැංකුවේ මූල්‍ය ශක්තිය හීන වෙනවා. මෙහෙම වුණොත් සමස්ත බැංකු පද්ධතිය ම කඩා වැටෙන්න පුළුවන්.”
ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ, පරාටේ නීතිය අත්හිටුවීම වෙනුවට ණය ගෙවා ගැනීමට නොහැකි පුද්ගලයින් හෝ ව්‍යාපාරිකයින් වෙනුවෙන් සොයා බලා සහන සැලසීමට වෙන ම කාර්යාලයක් පිහිටුවීම වඩාත් සුදුසු පියවරක් බව ය.
‘ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයින්ට විශාල සහනයක්’
මේ අතර, පරාටේ නීතිය තාවකාලිකව අත්හිටුවීම ශ්‍රී ලාංකික ව්‍යවසායකයින් ආරක්ෂා කිරීමට ගත් වැදගත් පියවරක් බව ලාංකික ක්ෂුද්‍ර, සුළු හා මධ්‍යම ව්‍යවසායක සංසදය පවසයි.
එහි උපසභාපති මහේන්ද්‍ර පෙරේරා බීබීසී සිංහල සේවයට ප්‍රකාශ කළේ, පාස්කු ප්‍රහාර මාලාව එල්ල වීමේ සිට මේ දක්වා ශ්‍රී ලාංකික ව්‍යාපාරික ප්‍රජාව දැඩි ලෙස අසරණ තත්ත්වයකට පත්ව සිටි බව ය.
“පාස්කු ප්‍රහාර මාලාව, කොරෝනා වසංගතය, ආර්ථික අර්බුදය කියන ව්‍යසන හැම එකකදි ම වැඩියෙන් ම පීඩාවට ලක්වුණේ ලංකාවේ ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්. ඔවුන් ගත් ණය හෝ පොළිය ගෙවා ගන්න බැරුව අසරණ තත්ත්වයක ඉන්නේ. පරාටේ නීතිය නිසා ඔවුන්ගේ වත්කම් සියල්ල අහිමි වන අවදානමක් තිබුණා. ඒ නිසා ඒ තත්ත්වය තේරුම් ගත් රජය පරාටේ නීතිය අත්හිටුවන්න ගත්ත තීරණය ව්‍යවසායකයින්ට ලොකු සහනයක්. මේ මාස 7ක් වගේ කාලය ඇතුළත ආයෙත් ව්‍යාපාර ශක්තිමත් කරගන්න අතරේ, බැංකු ණය ප්‍රතිව්‍යුහගත කරලා ව්‍යාපාරිකයින්ට සහනයක් සලසන්න අපි මැදිහත් වෙනවා. ඊට අමතරව, ව්‍යාපාර ගොඩ ගන්න අවශ්‍ය අයට අඩු පොළී අනුපාත යටතේ ණය ලබා දීම සදහා බැංකු සමග සාකච්ඡා කරන්නත් අපි බලාපොරොත්තු වෙනවා,” ලාංකික ක්ෂුදු, සුළු හා මධ්‍ය ව්‍යවසායක සංසදයේ උපසභාපති මහේන්ද්‍ර පෙරේරා පැවසීය.
(BBC)