මෙවර ජනාධිපතිවරණයට අපේක්ෂකයින් තිදෙනෙකුට වැඩි සංඛ්‍යාවක් තරඟකරනු ලබන බැවින් අපේක්ෂකයින් තිදෙනෙකුට මනාප සලකුණු කළ හැකි බවයි කියන්නේ. ඒ පළමු, දෙවන සහ තුන්වන මනාපය ලෙසයි. එසේ තිබියදීත් තම කැමැත්ත එක් අපේක්ෂකයෙකුට පමණක්නම් එම අපේක්ෂකයාට පමණක් ඡන්දය දිය හැකි බවයි මැතිවරණ කොමිෂන් සභාව පවසන්නේ.

“2024 සැප්තැම්බර්‌ මස 21 දින පැවැන්වීමට නියමිත ජනාධිපතිවරණයේ දී අපේක්‍ෂකයින්‌ තිදෙනෙකුට වැඩි සංඛ්‍යාවක්‌ තරහ කරනු ලබන බැවින්‌, එක්‌ අපේක්‍ෂකයකුට ඡන්දයත්, වෙනත්‌ අපේක්‍ෂකයින්‌ දෙදෙනෙකුට දෙවැනි මනාපය සහ තුන්වැනි මනාපයත් ඡන්ද පත්‍රිකාවක ලකුණු කිරීමට හැකියාව තිබෙන අතර අවශ්‍ය නම්‌ ඡන්දය පමණක්‌ ලකුණු කිරීමට ද හැකියාව තිබේ.

ඡන්දදායකයා ඡන්ද පත්‍රිකාවෙහි තමන්‌ කැමති අපේක්‍ෂකයාගේ නම හා ලකුණ ඉදිරියෙන්‌ වෙන්කර ඇති කොටසෙහි 1 ඉලක්කම සලකුණු කර ඡන්දය ප්‍රකාශ කළ යුතු ය. ඉන්පසුව 2 සහ 3 දරන ඉලක්කම්‌ සලකුණු කිරීමෙන්‌ තම දෙවන හා තුන්වන මනාප දැක්විය හැකි ය. ඡන්ද පත්‍රිකාවක, ඡන්දදායකයකු විසින්‌ සිය දෙවැනි හෝ තුන්වැනි මනාපය සලකුණු කර නොමැති වුවද, එහි නිසියාකාරව එක්‌ අපේක්‍ෂකයකු වෙනුවෙන්‌ සලකුණු කරන ලද ඡන්දයක්‌ වේ නම්‌ එය වලංගු ඡන්දයක්‌ ලෙස පිළිගැනේ.

ඡන්දදායකයාගේ ඡන්දය දීමේ චේතනාව ඡන්ද පත්‍රිකාව මත කරනු ලැබූ යම්‌ සලකුණකින්‌ පැහැදිලිව පෙනෙන විට (උදාහරණයක් ලෙස X පමණක් ලකුණු කර ඇතිවිට) එය අපේක්‍ෂකයාට ලබාදුන්‌ ඡන්දයක්‌ ලෙස සලකනු ලැබේ.

ඡන්දදායකයා හඳුනාගත හැකි වන පරිදි යම්‌ දෙයක්‌ ලියනු ලැබූ හෝ සලකුණු කරනු ලැබූ හෝ ඡන්ද පත්‍රිකාවක්‌ මෙන්ම පහත සඳහන්‌ අයුරකින්‌ සලකුණු කර ඇති ඡන්ද පත්‍රිකාවක්‌ ඡන්ද ගණන්‌ කිරීමේ දී ප්‍රතික්‍ෂේප කරනු ලැබේ.

එනම්‌;

* කිසිම අපේක්‍ෂකයකුට ඡන්දය සලකුණු කර නොමැනි විට;

* එක්‌ අපේක්‍ෂකයකුට වඩා වැඩි සංඛ්‍යාවක්‌ වෙනුවෙන්‌ ඡන්දය සලකුණු කර ඇති විට;.

* එක්‌ අපේක්‍ෂකයකුට 1 හා තවත්‌ අයෙකුට X සලකුණු කර ඇති විට;

* දෙවැනි මනාපය හෝ තුන්වැනි මනාපය පමණක්‌ සලකුණු කර ඇති විට;

* ඡන්දදායකයා හඳුනාගත හැකි ආකාරයේ යමක්‌ ලියා ඇත්නම්‌ හෝ ඇඳ ඇති විට;

* 1 හැර වෙනත්‌ සලකුණක්‌ සමඟ 2 ,3 මනාප සලකුණු කර ඇති විට;

1,2,3 ට වඩා ඡන්දය සහ මනාප සලකුණු කර ඇති විට;

ආර්.එම්.ඒ.එල්. රත්නායක

සභාපති, මැතිවරණ කොමිෂන් සභාව.

(මැතිවරණ කොමිෂන් සභාව වෙනුවෙනි)”