ඉදිරි ජනාධිපතිවරණයේ දී සාම්ප්‍රදායනුකූල දේශපාලන මතවාදයන්ට අනුව කටයුතු කළහොත් රට තුළ යළිත් සිවිල් යුද්ධයක් ඇති වීමේ අවධානමක් ඇති බව එජාප සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන පවසනවා. එවැනි තත්ත්වයක් ඇති වුවහොත් එහි වගකීම අදාළ පාර්ශ්ව විසින් භාරගත යුතු බවයි ඔහු කියන්නේ. සාම්ප්‍රදායික පටුබෙදීම් පසෙක තබා රට හදන ජාතික සැලැස්මට එකඟ වන ලෙස ඔහු ඉල්ලා සිටිනවා.
“මෙරට 09 වැනි විධායක ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීම වෙනුවෙන් එළැඹෙන සැප්තැම්බර් 21 වැනිදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය තීරණාත්මක මැතිවරණයක් වන බව කිව යුතුයි. වර්තමානය වන විට පැරැණි දේශපාලන පක්ෂවලට සාම්ප්‍රදායික ආකාරයටම තම දේශපාලන ව්‍යාපාරය ඉදිරියට ගෙන යෑමට නොහැකි වී තිබෙනවා. ඒ වගේම ඉතිහාසය තුළ අප රටේ කැරැලි කිහිපයක් මෙන්ම සිවිල් යුද්ධ ද ඇතිව තිබෙනවා.
පැවති පසුගිය පාලනයට එරෙහිව ද සිවිල් අරගල තත්ත්වයක් ඇති වුණා. එම නිසා නැවත එවැනි තෙවැනි සිවිල් යුද්ධයක් වැනි තත්ත්වයක් ඇති වීමට ජනතාව තම ඡන්දය භාවිත කරනවා ද? එසේ නොමැති නම් එවැනි තත්ත්වයක් සිවිල් සමාජය තුළ ඇති නොවීමට තම ඡන්දය භාවිත කරනවාද කියන ප්රශ්නය සැප්තැම්බර් 21 වැනිදා ශ්‍රී ලාංකික මහජනතාව ඉදිරියේ තිබෙනවා.
සාම්ප්‍රදායානුකූලව තම දේශපාලන මතවාදයන්ට අනුව කටයුතු කළහොත්, එසේ නොමැති නම් කුලවාදය මුල්කරගත් ශ්‍රී ලාංකික සමාජය තුළ පවතින කුලවාදී දේශපාලනය ක්‍රියාත්මක කළහොත්, ආගම මත කටයුතු කළහොත් තුන්වැනි සිවිල් යුද්ධයක් ඇතිවීමේ වගකීම අදාළ පාර්ශ්ව විසින් භාරගත යුතුව තිබෙනවා. ඒ බව මෙරට දේශපාලන පක්ෂ හොඳින් මතක තබා ගත යුතුයි.
අප ජනතාවට නිරතුරුවම සත්‍ය ප්‍රකාශ කළ යුතුයි. අද ඇතැමුන් රට විකුණන බව කියමින් විවිධ චෝදනා නඟනවා. සැබවින්ම මේ අයට ආර්ථිකය ගැන දැනුමක් සහ දැක්මක් නැහැ. ඒ වගේම ප්‍රාථමික කම්හල් අපට හැමදාම අවශ්‍ය නැහැ. මේ වන විට කොරියාව වැනි රටවල් ඇඟලුම් කර්මාන්ත ශාලාවලින් ඉදිරියට ඇවිත් නෞකා, ගුවන් යානා නිෂ්පාදනය කරන තැනට වර්ධනය වී සිටිනවා. මෙම නව තත්ත්වයන් අප හඳුනාගත යුතුයි.
ඒ නිසා මේ රට ගොඩනැඟීමට නම් තම බලය ලබා ගැනීම වෙනුවෙන් මහජනතාවට සාම්ප්‍රදානුකූලව බොරු කීම නතර කළ යුතුයි. මේ වැටුණු රටට ගොඩයෑමට වෙනත් විකල්ප මාර්ගයක් නැහැ” යි වජිර අබේවර්ධන මන්ත්‍රීවරයා සඳහන් කරනවා.