ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහාය පළකරමින් ‘රනිල්ට විතරයි පුළුවන් ශ්‍රී ලංකා’ යනුවෙන් සඳහන් ටී ෂර්ට් පැලඳ බදුල්ල බස් නැවතුම්පළ ඉදිරිපිට මැතිවරණ නීති උල්ලංඝනය කළ කාන්තාවන් හත් දෙනකු ඇතුළු 34 දෙනකු ඊයේ (05) බදුල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණා. මේ පිළිබඳව උරණ වූ ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය ඇමැති චාමර සම්පත් දසනායක බදුල්ල පොලිසියට කඩාවැදී ඇතැයි වාර්තා වෙනවා. එහිදී බදුල්ල පොලිසියේ ඒ මොහොතේ රාජකාරි කළ පොලිස් නිලධාරීන්ට බැණ වැදී එම පිරිස නිදහස් කරගෙන ගොස් තිබෙන බවයි කියන්නේ.

මෙම සිදුවීම ඊයේ දහවල් බදුල්ල මූලස්ථාන පොලිසියේ දී සිදුව ඇති බවයි කියන්නේ.

අදාළ ටී ෂර්ට් පැලඳ බදුල්ල බස් නැවතුම්පළ අසලදී මෙම පිරිස සිට ඇති අතර මැතිවරණ පැමිණිලි ඒකකයට ලද පැමිණිල්ලකට අනුවයි බදුල්ල පොලිසියේ නිලධාරින් එම පිරිස පොලිසියට රැගෙන ගොස් ඇත්තේ. මේ සම්බන්ධයෙන් ආරංචි වූ පසු ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය ඇමැති චාමර සම්පත් දසනායක පොලිස් ස්ථානය වෙත කඩා වැදී නීතිය කාටත් එකට කරන ලෙස පවසමින් මෙම පිරිස නිදහස් කරන ලෙසට පොලිසියට බැණ වැදී බලපෑම් කර ඇත්තේ බදුල්ල දිසාවේ ඉහළ පොලිස් නිලධාරින් නම් අවංකව කටයුතු කරන බව පවසමින්.

වාර්තා වන ආකාරයට රාජ්‍ය ඇමැතිවරයා බදුල්ල දිස්ත්‍රික් සහකාර මැතිවරණ කොමසාරිස්වරයාද හමුවී සාකච්ඡා කර ඇති අතර පසුව සහකාර කොමසාරිස්වරයා එම පිරිස මුදාහරින ලෙස උපදෙස් දී ඇති බවයි කියන්නේ. මැතිවරණ නීති කඩකළ එම 34 දෙනාගෙන් සමන්විත පිරිස කිසිදු ක්‍රියාමාර්ගයක් නොගෙන නිදහස් කර ඇතැයි පැවසෙනවා.