මැතිවරණ කොමිසමෙන් හිරු මාධ්‍ය ජාලයට අවවාදාත්මක ලිපියක් නිකුත් කර තිබෙනවා. මැතිවරණ සමයක කටයුතු කළ යුතු ආකාරය පිළිබදව මැතිවරණ කොමිසම හදුන්වා දී තිබෙන මාධ්‍ය උපමාන හිරු මාධ්‍ය ජාලය විසින් නොතකා හැර ඇති බවත්, එය මැතිවරණ නීතිය උල්ලංඝණය කිරීමක් වන බැවින් වහාම ඒ පිළිබදව අවධානය යොමු කරන ලෙසත් ඉල්ලා සිටිමින් මැතිවරණ කොමිසම විසින් හිරු මාධ්‍ය ජාලය වෙත මෙම ලිපිය යොමු කරනවා.
එක් අපේක්ෂකයෙකු ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් හිරු මාධ්‍ය ජාලය සිය ගුවන් කාලයෙන් වැඩි ප්‍රමාණයක් වෙන් කර තිබෙන බවත්, ඊට අමතරව, පත්තරේ විස්තරේ වැනි වැඩ සටහන් හරහා අනෙකුත් අපේක්ෂකයන්ට අපහාස වන ලෙස අදහස් ප්‍රකාශ කරන බවත් හිරු මාධ්‍ය ජාලයට එල්ල වී තිබෙන ප්‍රධාන චෝදනා අතරෙන් කීපයක්. අධිකරණයේ දැනට විභාග වෙමින් පවතින නඩු කටයුතු සම්බන්ධයෙන් පවා මාධ්‍ය සදාචාරයට පටහැනිව අදහස් ප්‍රකාශ කරන බවද ඔවුන්ට එල්ල වී තිබෙන තවත් චෝදනාවක්.
මේ සියළු කරුණු පිළිබදව සිය ලිපියේ සදහන් කර තිබෙන මැතිවරණ කොමිසම, මේ කරුණු පිළිබදව වහා සැලකිලිමත් වී නිවැරදි මාධ්‍ය භාවිතයක යෙදෙන ලෙසයි හිරු මාධ්‍ය ජාලයට අවවාද කර සිටිනවා.
“පොදු සංඛ්‍යාත සහ පොදු ගුවන් කාලයන් තුළ තමාට රිසි පක්ෂ ප්‍රවර්ධනය කිරීම හා අනෙකුත් පක්ෂයන්ට අපහාස වන අයුරින් කටයුතු කිරීම” සිදු කරන බව එම ලිපියේ දක්වා තිබෙනවා.
“එවන් පසුබිමක් තුළ ඔබ ආයතනය විසින් ඉහත සඳහන් පරිදි වැඩසටහන් විකාශය කිරීමක් සිදුකරන්නේනම් එය පොදු සංඛ්‍යාත සහ පොදු ගුවන් කාලයන් අවභාවිතා කිරීමක් වන අතර එමගින් ඡන්ද විමසීම අතරතුර බලපැවැත්වෙන නීතී උල්ලංඝනය කිරීමක් වන බවද අවධාරණය කරමි. එබැවින් ඉදිරියේ දී මෙවැනි පැමිණිලි ඉදිරිපත් නොවන ආකාරයට ඔබගේ සංඛ්‍යාත හා ගුවන් කාලය භාවිතා කරන ලෙසට දන්වන අතර ඔබගේ වැඩිදුර දැනගැනීම සඳහා ඉහත සඳහන් මාධ්‍ය උපමාන ගැසට් පත්‍රයේ පිටපතක් මේ සමඟ යොමු කරමි” යි මැතිවරණ කොමසාරිස් ජෙනරාල සමන් ශ්‍රී රත්නායක සිය ලිපියේ දක්වනවා.