හිටිහැටියේ ඇති වූ මහා ජලගැල්මට කොටු වී හේනේ පැලක වහලය මත සිටි පුද්ගලයෙකු බේරාගැනීම පිළිබඳව ප්‍රවෘත්තිය විවිධ මාධ්‍යවලින් වාර්තා කර තිබූ අතර ඒ පිළිබඳව සවිස්තර සටහනක් බීබීසී සිංහල වෙබ්අඩවිය පල කර තිබේ.

එය සම්පූර්ණයෙන් උපුටාගෙන පහත දැක්වේ.

‘ගංවතුරට කොටු වෙලා පැය 14ක් කුඹුරේ පැලක වහලෙ උඩ හිටියා’: ‘බිහිසුණු අත්දැකීමකින්’ පසු දිවිගලවා ගත් සෝමසුන්දරම්

“එක පාරට ආව වතුර පාරත් එක්ක මට කිසි ම දෙයක් හිතා ගන්න බැරි වුණා. මම හිටිය පැලට නැග්ගා ජීවිතේ බේර ගන්න ඕන නිසා,” 65 හැවිරිදි ගණපතිපිල්ලේ සෝමසුන්දරම් තමන් මුහුණ දුන් ‘බියකරු’ අත්දැකීම පිළිබඳව බීබීසී සිංහල සේවය වෙත එලෙස අදහස් දැක්වීම ආරම්භ කළේ ය.

දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණයත් සමග ඇති වූ ජල ගැලීම් තත්ත්වය හමුවේ ගංවතුරට කොටුවී සිටි ඔහු ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් බේරා ගනු ලැබුවේ, ඊයේ (නොවැම්බර් 27) දහවල් කාලයේදී ය.

අම්පාර ප්‍රදේශයට බලපා ඇති ගංවතුර තත්ත්වය පිළිබඳ නිරීක්ෂණය කරමින් පියාසර කරමින් තිබූ බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටරයක සිටි ගුවන් හමුදා නිලධාරීන් පිරිසක් විසින් වාලච්චේන, තොළුවිලච්චිය ප්‍රදේශයේදී මෙම මුදා ගැනීමේ මෙහෙයුම සිදු කරනු ලැබූ බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෲප් කැප්ටන් එරන්ද ගීගනගේ බීබීසී සිංහල සේවයට පැවසුවේ ය.

`මට මරණ බයක් දැනුණා’

තමන් මුහුණ දුන් අත්දැකීම පිළිබඳ බීබීසී සිංහල සේවය වෙත අදහස් දක්වමින් ගණපතිපිල්ලේ සෝමසුන්දරම් කියා සිටියේ, තමන් කුලී සේවකයෙකු ලෙස සේවය කරන බව ය.

“මගේ රස්සාව වන අලින්ගෙන් කුඹුරු රකින එක. මේ රස්සාවට සතියකට රුපියල් 5000ක් දෙනවා. මට පවුලේ ළමයි 04 දෙනෙක් ඉන්නවා. අපේ පවුලේ ඔක්කොම 06 දෙනෙක් ඉන්නවා බිරිඳත් එක්ක. හැම සතියකට ම එක දවසක් මඩකලපුව, වන්දාරමුල්ලේ තියෙන ගෙදරට එනවා පවුලේ අයව බලලා යන්න.”

“මම ගිය ඉරිදා උදේ ගෙදර ගිහින් ආපහු කුඹුරට ගියා පැල් රකින්න කියලා. ඒ යද්දී උයන්න කෑම බඩු එහෙම අරන් යනවා, සතියක් එහෙ ඉන්න ඕන නිසා. කුඹුර තියන්නේ කැලයක් ළඟ. කුඹුර තියෙන්නේ මගේ ගෙදර ඉදලා කිලෝමීටර් 10ක් වගේ දුරින්.” ඔහු පැවසුවේය.

දිවයිනේ නැගෙනහිර වෙරළ කලාපයට ඔබ්බෙන් ඇති වූ පීඩන අවපාතය සමග ඇද හැලුණු දැඩි වර්ෂාපතනය සමග සෝමසුන්දරම් පැල් රකිමින් සිටි වාලච්චේන, තොළුවිලච්චිය ප්‍රදේශයට මෙන්ම නොවැම්බර් 26 වැනිදා මධ්‍යම රාත්‍රිය වන විට අම්පාර, මඩකලපුව ඇතුළුව දිවයිනේ ප්‍රදේශ රැසකට ම ක්ෂණික ජලගැලීම් තත්ත්වයක් ඇති විය.

“එක පාර ම රෑ 12.00ට වගේ මම කුඹුරේ පැලට වෙලා ඉද්දි වතුර පාරක් ආවා. ඒ වෙද්දීත් හොඳට ම වහිනවා. මට කරන දෙයක් ගැන හිතා ගන්න බැරි වුණා.”

“එන්න එන්න වතුර පාර වැඩි වුණ නිසා මම පැලේ වහලට නැග්ගා. වැස්ස නිසා පැලේ තිබ්බ කුඩයක් අරන් වහලට වෙලා හිටියා.”

“කිසි ම දෙයක් පෙනුණේ නැහැ.. වැස්ස එක්ක හුළඟ විතර යි.”

“මම ඇත්තට ම බය වුණා. ඒ වෙලාවේ හිතුණා ගංවතුරට අහුවෙලා මැරෙයි කියලා,” ඔහු තමන් මුහුණ දුන් ‘බියකරු’ අත්දැකීම පිළිබඳව එලෙස විස්තර කළේ ය.

“මම ඇත්තටම බය වුණා. ඒ වෙලාවේ හිතුණා ගංවතුරට අහුවෙලා මැරෙයි කියලා.”

‘කුඩය වනලා මම කෑ ගැහුවා’

ජලගැල්මට කොටු වූ තමන් පැය 14කට අධික කාලයක් පැලේ වහලය මත සිටි බව ඔහු පැවසීය.

“එක දිගට වහින වැස්සත් එක්ක මම පැය 14කට වැඩිය කාලයක් පැල උඩට වෙලා හිටියා. උදේ වෙද්දී අඩි 4කට වැඩිය වතුරෙන් යට වෙලා තිබුණා ඒ පැත්ත ම.”

“සීතලත් එක්ක බඩගින්නක් තිබුණා. කන්න කිසි ම දෙයක් තිබුණේ නැහැ. එහෙම ඉද්දි දවල් මම දැක්කා හෙලිකොප්ටරයක් යනවා. ඒ වෙද්දී වැස්ස ටිකක් පායලා තිබුණේ. මම කුඩේ වනලා කෑ ගැහුවා.”

“හෙලිකොප්ටරය වටයක් කැරකිලා මම හිටිය තැනට ආවා. ඊට පස්සේ ඒකෙන් කෙනෙක් පහළට බැහැලා මාවත් අරන් ආපහු උඩට ආවා.”

“ගොඩක් ලොකු සතුටක් දැනුණා මට. හෙලිකොප්ටරේ හිටපු ගුවන් හමුදාවේ අය මට කන්න බිස්කට් වගේ ම වතුරත් දුන්නා,” ගණපතිපිල්ලේ සෝමසුන්දරම් තමන් මුහුණ දුන් අත්දැකීම විස්තර කළේ ය.

එමෙන් ම, තමන්ව මුදා ගැනීමෙන් අනතුරුව ගුවන් හමුදාවේ නිලධාරීන් අවශ්‍ය ප්‍රථමාධාර දුන් අතර, යළිත් මඩකලපුවේ පිහිටි නිවස වෙත පැමිණීම සඳහා අවශ්‍ය මුදල් ද ලබා දුන් බව ගණපතිපිල්ලේ සෝමසුන්දරම් සිහිපත් කළේ ය.

යාපනය නගරය ද අධික වැසි තත්ත්වය නිසා ජලයෙන් යටවී පැවතිණි

මරණ සංඛ්‍යාව 6ක් දක්වා ඉහළට

දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් අද (නොවැ 28) උදෑසන විට මරණ 6ක් සහ පුද්ගල අතුරුදන්වීම් 6ක් වාර්තා වී ඇති බව නිවේදනයක් නිකුත් කරමින් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

දිවයිනේ දිස්ත්‍රික්ක 21කට අයත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 145කට ආපදා තත්ත්වය හේතුවෙන් බලපෑම් එල්ල වී තිබෙන අතර ඉන් පවුල් 98,635කට අයත් පුද්ගලයින් 330,894 දෙනෙකු පීඩාවට පත්ව ඇති බව එම මධ්‍යස්ථානය පවසයි.

ආපදා හේතුවෙන් නිවාස 82කට දැඩි හානි සිදුවී ඇති අතර, නිවාස 1,465කට අර්ධ හානි සිදුවී තිබේ. අවතැන් වූවන් සඳහා සුරක්ෂිත මධ්‍යස්ථාන 267ක් පවත්වාගෙන යන බව ද එම නිවේදනයේ සඳහන් කර තිබේ.

එවැනි සුරක්ෂිත මධ්‍යස්ථානවල පවුල් 8,358ක් එහි රැඳී සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිකුත් කර ඇති නිවේදනයේ සඳහන් වෙයි.

අයහපත් කාලගුණය හේතුවෙන් පුද්ගලයින් 330,894 දෙනෙකු පීඩාවට පත්ව තිබේ.

නාය යාම් සහ ගංවතුර අනතුරු ඇඟවීම් තවදුරටත්

දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් මහනුවර, කෑගල්ල, මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයකට නාය යාමේ අනතුරු ඇඟවීම් පිළිබඳ රතු නිවේදන කර තිබේ.

මීට අමතරව බදුල්ල, කොළඹ, ගම්පහ සහ රත්නපුර යන දිස්ත්‍රික්කවල නාය යාමේ, ඉවුරු කඩා වැටීමේ අවදානම් සහිත ප්‍රදේශවල වෙසෙන ජනතාවට ඒ සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන ලෙස දැනුම් දී සිටියි.

මේ අතර උතුර, නැගෙනහිර සහ වයඹ පළාත්වල ජලාශ ආශ්‍රිතව පහත්බිම්වල ගංවතුර තත්ත්වයන් තවදුරටත් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. විශේෂයෙන් දැදුරු ඔයේ සහ මහවැලි ගඟේ ජල මට්ටම ඉහළයාම හේතුවෙන් ගංවතුර තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

ජල ගැලීම් නිසා පීඩාවට පත්වූ ජනතාව මුදා ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක යි

ගැඹුරු පීඩන අවපාතය ත්‍රිකුණාමලය ආසන්නයට

නිරිත දිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය අද (නොවැ 28) පෙරවරු 02.30 පමණ වන විට ත්‍රිකුණාමලයට කිලෝමීටර් 100ක් පමණ ඊසාන දිගින් පැවතිණි. එය දිවයිනේ නැගෙනහිර වෙරළට ආසන්නව උතුරට බරව වයඹ දෙසට ඉතා සෙමින් ගමන් කරමින් අද සුළි කුණාටුවක් දක්වා තවදුරටත් තීව්‍ර වීමට ඉඩ ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ කාලගුණ නිවේදනයේ සඳහන් වේ.

මෙම පද්ධතියේ බලපෑම හේතුවෙන් දිවයින පුරා බොහෝ ප්‍රදේශවල අහස වලාකුළින් බරව පවතින අතර උතුරු පළාතේත්, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් ඉතා තද වැසි සහ තද සුළං බලාපොරොත්තු විය හැකි අතර දිවයිනේ උතුරු පළාතේත්, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත ඇති වන අතර ඇතැම් ස්ථානවලට මිලිමීටර් 150 ට වැඩි ඉතා තද වැසි ඇතිවිය හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.

එමෙන් ම, දිවයිනේ සෙසු ප්‍රදේශවලත් විටින් විට වැසි ඇති වන අතර, උතුරු මැද සහ වයඹ පළාත් සහ මාතලේ සහ කෑගල්ල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ට වැඩි තද වැසි ද ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වලත්, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින් විට හමන පැයට කිලෝමීටර් 60-70 ක පමණ ඉතා තද සුළං ඇති විය හැක.

දිවයිනේ සෙසු ප්‍රදේශවලත් විටින් විට හමන පැයට කිලෝමිටර් 40-50 තද සුළං ඇතිවිය හැකි අතර ගිගුරුම් සහිත වැසි සමග ඇති විය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටින බව එම දෙපාර්තමේන්තුව පවසයි.

අවතැන් වී සිටින ජනතාවට අවශ්‍ය වියළි සලාක ලබාදීමට යුද හමුදාව කටයුතු කරයි

මේ අතර, දිවයින වටා වන මුහුදු ප්‍රදේශ විටින් විට රළු හෝ ඉතා රළු විය හැකි අතර නැවත දැනුම් දෙන තුරු දිවයින වටා ඇති ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවුක කටයුතුවලින් වැළකී සිටින්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධීවර සහ නාවික ප්‍රජාවට දැනුම් දී සිටියි.

මඩකලපුව සිට ත්‍රිකුණාමලය හරහා කන්කසන්තුරය දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල මුහුදු රළ උස මීටර් (2.5 – 3.0) ක් පමණ ඉහළ යාමේ හැකියාවක් පවතී. (මෙය ගොඩබිමට එන රළ උස නොවේ). මේ හේතුවෙන් මඩකලපුව සිට ත්‍රිකුණාමලය හරහා කන්කසන්තුරය දක්වා ප්‍රදේශවල මුහුදු රළ ගොඩබිමට පැමිණීමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද නිවේදනයේ දැක්වෙයි.

දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර මුහුදු ප්‍රදේශවල සුළං ඊසාන දිශාවෙන් හමා එන අතර සුළගේ වේගය පැයට කිලෝමීටර් 40-50ත් පමණ වන අතර සුළගේ වේගය ක්ෂණිකව පැයට කිලෝමීටර් 60-70 දක්වා ඉහළ යා හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත.