ක්‍රීඩා සංගම් අතර බෙදාහරින බව පවසා ජනාධිපතිවරණය පැවති 2015 වසරේ සතොස ආයතනය මගින් කැරම් බෝඩ් සහ දාම් ලෑලි 14,000ක් බැගින් ආනයනය කොට එවකට ජනාධිපති සහ ජනාධිපති පේක්ෂක මහින්ද රාජපක්ෂගේ ප්‍රතිරූපය වර්ධනය වන අයුරින් බෙදාදීම තුළින් රජයට රුපියල් මිලියන 5කට අධික පාඩුවක් සිදුකිරීම සම්බන්ධයෙන් හිටපු ක්‍රීඩා ඇමති මහින්දානන්ද අලුත්ගමගේට සහ සතොස ආයතනයේ හිටපු සභාපති සහ හිටපු වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දුට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුවේ ලිඛිත හා වාචික දේශන ජනවාරි මස 22 වනදා ඉදිරිපත් කරන ලෙස විනිසුරු මඩුල්ල දෙපාර්ශවයේ නීතිඥවරුන්ට නියෝග කර තිබේ.

ඒ ඊට අදාළ නඩුව අද (19) කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ යළි කැඳවූ අවස්ථාවේදීය.

මෙම නඩුව ප්‍රදීප් හෙට්ටිආරච්චි, ප්‍රදීප් අබේරත්න සහ මහේන් වීරමන් යන ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවා ඇත.

මේ අතර මෙහිදී විත්තිකාර නලින් ප්‍රනාන්දු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු කළ ඉල්ලීමක් පිළිගත් විනිසුරු මඩුල්ල විත්තිකාර නලින් ප්‍රනාන්දුට ජනවාරි මස 10 වනදා සිට 16 වනදා දක්වා විදේශගත වීමට අවසර ලබා දී තිබේ.