සිරකරුවන් ඝාතනය කිරීම සම්බන්ධයෙන් ප්‍රකට මහර බන්ධනාගාරය තුල කිහිප දිනකට ඉහතදී මරණයට පත්වූ රැඳවියකුගේ මෘත දේහය ජීවත්ව සිටින එකම ඥාතියා වන ඔහුගේ මෑණියන්ටවත් හඳුනා ගැනීම පිණිස ඉදිරිපත් කර නැතැයි සිරකරු අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින ප්‍රමුඛතම සංවිධානයක් විසින් හෙළි කර තිබේ.

එම මරණය පහර දීමෙන් සිදුකළ ඝාතනයක් දැයි සැක පල කරන සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව, නොවැම්බර් 25 වැනිදා කොළඹදී හෙළි කර තිබුනේ සැකපිට බන්ධනාගාරගත කර සිටියදී මිය ගිය පුද්ගලයාගේ මෘත දේහය මේ වන විට බන්ධනාගාර ගතවී සිටින ඔහුගේ මෑණියන්ට හඳුනා ගැනීම පිණිස ඉදිරිපත් කර නොමැති බවයි.

”ජීවිතක්ෂයට පත් උන රැදවියාගේ ගෙදර කිසිවෙක් නෑ මේ සම්බන්ධව සොයා බලන්න. ඔහුගේ මරණය බාර ගන්නවත්, ඔහු හදුනාගන්නවත්. මොකද ඒ මියැදුනු පුද්ගලයාගේ මව මේ වෙන කොට බන්ධනාගාර ගත වෙලා ඉන්නවා. නමුත් බන්ධනාගාරය මේ සම්බන්ධව කිසිදු ක්‍රියාමාර්ගයක් අරන් නැ. ඒ වගේම ඒ මව මරණ පරීක්ෂණයට ඉදිරිපත් කරන්න ඒ මෘත දේහය හදුනා ගන්නවත් ඒ දේ කරලා නැහැ.”

මහර බන්ධනාගාරය වධකාගාරයක් ලෙසින් හදුන්වා දෙමින් සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ සභාපති සුදේශ් නන්දිමාල් සිල්වා නොවැම්බර් 25 වැනිදා වැඩිදුරටත් කියා සිටියේ මෙලෙස මිය ගොස් ඇත්තේ පසුගියදා බන්ධනාගාරගත කළ එකම පවුලේ දෙදෙනෙකුගෙන් අයෙක් බවයි. අනෙක් පුද්ගලයාද මේ වන විට තුවාල ලබා සිටින බව ඔහු තව දුරටත් පවසා තිබුනි.




”බන්ධනාගාරයේ රැදවියෝ දෙන්නෙක් ඔවුන් බාප්පයි, පුතයි. ඒ රැදවියෝ දෙන්නා සැක පිට බන්ධනාගාරයට ගෙනාවම දැන් මේ මොහොත වෙන කොට එක රැදවියෙක් මැරිලා තියනවා. දැන් බන්ධනාගාරය කියනවා මේ ආපු රැදවියන් දෙන්නාගෙන් අනිත් රැදවියාගේ කකුල කැඩිලා. දැන් බන්ධනාගාරය කියනවා මේ දෙන්නා පැනලා යන්න උත්සාහ කරා. පැනලා යන්න උත්සාහ කරාම එක්කෙනෙක් වැටිලා කකුල කැඩුනා. අනිත් එක්කෙනාටත් තුවාලයි. ඒ නිසා අනිත් එක්කෙනාවත් හොස්පිටටල් එකට ගෙනියනවා. කකුල කැඩිච්ච කෙනාවත් හොස්පිටල් එකට ගෙනියනවා කියලා. නමුත් මේ කකුල කැඩිච්ච කෙනා, වැඩියෙන් ඩැමේජ් වෙච්ච කෙනා නෙමෙයි මෙයාලා මේ තුවාලයි කියන අතින් පුද්ගලයා මේ වෙන කොට ජීවිතක්ෂයට පත් වෙලා තියනවා.”

මනුෂ්‍ය ඝාතන සම්බන්ධයෙන් මහර බන්ධනාගාරය තුළ පවතින පුර්වාදර්ශ  සිහිපත් කරන සුදේශ් නන්දිමාල් සිල්වා මාධ්‍ය හමුවේදී සැක පල කර තිබුනේ මෙය පහර දීමෙන් සිදුවු මරණයක්ද යන්නයි.

”එතකොට මේක පිටිපසසේ අපිට බරපතල සැකයක් තියනවා මේ රැදවියන් දෙන්නට ගහලා එක්කෙනෙක්ගේ කකුල කඩලා, අනිත් එක්කෙනාට මාරාන්තික විදිහට පහර දීලා මෙතන ඝාතනයක් කරාද කියලා අපිට සැකයක් තියනවා. මොකද පුර්වාදර්ශ තියනවා. මහර බන්ධනාගාරය තුළ පුර්වා දර්ශ තියනවා. ඒ නිසා අපිට බරපතල සැකයක් තියනවා මෙතන තවත් ඝාතනයක් සිද්ධ වෙලාද කියලා. ”

මිය ගිය පුද්ගලයාගේ නිවසේ ඔහුගේ බාර කරුවකු නොසිටීම මරණ පරීක්ෂණයක් සිදු නොකිරීමට හේතුවෙක් නොවන බවත් සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව එහිදී අවධාරණය කර තිබුනි.

මාරාන්තික කොරෝනා වසංගතය දරුණු ලෙස රට පුරා ව්‍යාප්ත වෙමින් තිබුන මොහොතක එකොලොස් දෙනකු මහර බන්ධනාගාරය තුල මරා දමමින් කරන ලද සමූලඝාතනය සම්බන්ධයෙන් යුක්තිය ඉටුකරගැනීම වෙනුවෙන් ද දිගින් දිගටම අරගලයක යෙදී සිටින්නේ ද සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවයි. එම පරීක්ෂණ අත්හිටුවන ලෙස නීතිපති දෙපාර්තමේන්තුව විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පසුගියදා නිර්දේශ කර තිබීම වැලිසර මහේස්ත්‍රාත්වරයාගේද විමතියට හේතුවී තිබුණි.

(TheLeader.lk)