ජාතික ජන බලවේගයේ විද්‍යා තාක්ෂණ ප්‍රතිපත්තිය එළිදැක්වීමේ අවස්ථාවට එක්වූ එක්සත් ජනපද හූස්ටන් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ගෝමික උඩුගමසූරිය පවසන්නේ ශ්‍රී ලාංකිකයින් ලෝකය පුරාම දස්කම් දක්වන්නේ මානව සම්පතේ විභවය ඉතාම ඉහළ නිසා බවයි. ජාතික ජන බලවේගය විසින් සිය විද්‍යා තාක්ෂණ ප්‍රතිපත්තිය, Quantum Leap එළිදැක්වීමේ අවස්ථාව වෙනුවෙන් මහාචාර්ය ගෝමික උඩුගමසූරිය එක්සත් ජනපදයේ සිට මෙරටට පැමිණ තිබුණා.

“මම අද මෙතන ඉන්නේ අපේ රටේ මිනිසුන් නිසයි. නිදහස් අධ්‍යාපනයේ නාමයෙන් ඔබගේ බදු මුදලෙන් මම ඉගෙන ගත්තා. ඔබේ බදු මුදල් නාස්ති කළේ නැහැ කියලා මම හිතනවා. ඔබ දුන් සවියත්, මගේ උත්සාහයත් තව බෙහෝ දේවලුත් එකතු කරගෙන ලෝකයේ තිබෙන විශාලම වෛද්‍ය පර්යේෂණ ආයතනය දක්වා දීර්ඝ ගමනක් මම ගියා. ඒ ගමනේදී ඉගෙන ගත් බොහෝ දේවල් සහ දැනුම රැගෙන ඔබ එදා මා වෙනුවෙන් කළ ආයෝජනයට ප්‍රතිලාභ ලබාගෙන්න මම මේ ලෙස ඔබ හමුවට පැමිණ සිටිනවා. මගේ ප්‍රධාන කාර්යභාරය වී තිබෙන්නේ අපේ ප්‍රතිපත්තිය හඳුන්වා දෙන්නයි. අද ඔබට ලබාදෙන ප්‍රතිපත්තිය හොඳින් කියවා ඔබේ අදහස් ලබාදීම රටට ඉතාම වැදගත්. අපේ ප්‍රතිපත්තිය තුළ තිබෙන්නේ විද්‍යා හා තාක්ෂණ දැනුම උකහා ගැනීම වෙනුවෙන් ප්‍රතිපාදන වෙන්කිරීම, එහි අධීක්ෂණය, නියාමනය හා පරිපාලනය. මේක ඒ පිළිබඳ ලියවිල්ලක්.

විද්‍යා හා තාක්ෂණය පිළිබඳව නිතරම ගැටගැසී තිබෙන වචන දෙකක් වන්නේ පර්යේෂණය හා සංවර්ධනය යන්නයි. පර්යේෂණ හා සංවර්ධනය කියන්නෙ මොකක්ද? සරලව කීවොත් නිර්මාණශීලී ක්‍රමවේදයකට අනුව දැනුම වර්ධනය කර ගනිමින් ඒ දැනුම යොදවා තව නිෂ්පාදන හා සේවාවන් තවත් විදිහකින් කියනවා නම් අගය එකතු කළ භාණ්ඩ හා සේවාවන් නිෂ්පාදනය කිරීමයි. අපිට තිබෙන අදහස් පර්යේෂණයකට ලක්කර, මූලික නිෂ්පාදනයක් සිදුකර, සන්නාම අගයක් දක්වා වර්ධනය කළ වෙළඳපොළට නිකුත් කිරීමයි. මේ ක්‍රියාවලිය වෙනුවෙන් පර්යේෂණය සහ සංවර්ධනය ඉතාම වැදගත්. නිදර්ශනයක් ගන්නවා නම්, තේ කොළ නිෂ්පාදනයේදී තේ දළු නෙළා ගෙන, වේලා, කුඩුකර, වතුරත් එක්ක එකතු කර පානය කිරීම සිදුකරනවා. නමුත් මේ තේ විවිධ රසය, විවිධ සුවඳ, විවිධ වර්ණ දක්වා විකාශනය කිරීම අගය එකතු කළ භාණ්ඩ ලෙස හඳුන්වනවා. අගය එකතු කළ සේවාවන් සම්බන්ධයෙන් සංචාරක ව්‍යාපාරය නිදර්ශනයක් ලෙස ගනිමු. සංචාරක මග පෙන්වන්නෙක් අදාළ ස්ථාන සම්බන්ධයෙන් හොඳින් අධ්‍යයනය කර, ඉතිහාසය හොඳින් දැනගෙන, සංචාරකයන් වෙනුවෙන් නිර්මාණශීලීව, ආකර්ෂණීය ලෙස එම ස්ථාන පිළිබඳව කරුණු විස්තර කර දීම අගය එකතු කළ සේවාවක්. ඇමෙරිකානු රජය දළ ජාතික නිෂ්පාදිතයෙන් 3.5%ක් පර්යේෂණ සහ සංවර්ධන කටයුතු වෙනුවෙන් වෙන්කරනවා. රටේ අනාගතයට අදාළ පර්යේෂණ මොනවාද යන්න හඳුනාගෙන ඒ වෙනුවෙන් මුදල් වෙන්කර පර්යේෂණ ආයතනවලට මුදල් ලබාදී සාර්ථක පර්යේෂණ ප්‍රතිඵල, නිෂ්පාදන අංශවලට වෙන්කර, අවසානයේ ජනතාවට ලබාදෙනවා. ලෝකයේ දියුණු වූ හැම රටක්ම දියුණු වී තිබෙන්නේ මෙම ක්‍රියාවලිය තුළ ගමන් කිරීමෙනුයි.

ශ්‍රී ලංකාවට ආවොත් රට පුරාම විහිදුණු පර්යේෂණ ආයතන රැසක් තිබෙනවා. ඒ පර්යේෂණ ආයතනවල සේවය කරන ඔබ, ඇමෙරිකාවට දෙවැනි නැහැ. අපි ඊටත් වඩා උසස්. ඒ නිසයි මා වැනි අය ඒ තැන්වලට ඇතුල් කරගෙන සිටින්නේ. නමුත් ඇමෙරිකාව දියුණු වෙද්දී අපි එසේ නොවූයේ ඇයි? අපේ රටේ තැනින් තැන පර්යේෂණ සිදුකර, නිෂ්ක්‍රීයව පවතිනවා මිස අවසන් ඉලක්ක වෙත ගෙන යන්නේ නැහැ. තවත් ලෙසකින් කියනවා නම්, මේ පර්යේෂණ ආර්ථික ක්‍රියාවලියට බද්ධ කරගෙන නැහැ. දියුණු රටවල් පර්යේෂණ සඳහා ජාතික ආදායමෙන් 3% – 5% අතර ප්‍රමාණයක් වෙන්කර තිබුණත් අපි වෙන්කර තිබෙන්නේ දළ දේශීය නිෂ්පාදිතයෙන් 0.5%ක්, වැනි ප්‍රමාණයක්. අපේ රට ස්වභාවික සම්පත්වලින් පිරුණු මුහුද, ගොඩබිම, නිවර්තන කාලගුණය, රට පුරා පැතිරුණු හිරු එළිය, සුළං බලය, වැනි ස්වභාවික සම්පත් ජාලය පර්යේෂණ සහ සංවර්ධනය වෙනුවෙන් යොදා ගන්නේ නැහැ. යම්කිසි භාණ්ඩයක් මුලසිට අවසානය දක්වා කෘත්‍රිමව නිෂ්පාදනය කිරීමට වඩා ස්වභාවික සම්පත් ඇසුරෙන් නිෂ්පාදනය කිරීමට යන වියදම ඉතා අඩුයි. තව විදිහකට කියනවා නම්, අඩු වියදමකින් වැඩි භාණ්ඩ හා සේවා ප්‍රමාණයක් නිෂ්පාදනය කළ හැකියි. ලංකාවේ මානව සම්පත තුළ පවතින විභවය ඉතාම ඉහළයි. ශ්‍රී ලාංකිකයින් ලෝකය පුරාම දස්කම් දක්වන්නේ ඒ නිසයි. විදේශගත වූවන් පමණක් නොවෙයි, අපි දන්නා ප්‍රදේශවල සිටින අය පවා අලුත් නිෂ්පාදන කොපමණ කරනවාද?

වර්තමානයේ යොදාගත හැකි අතීත උරුමයන් රැසක් තිබෙනවා. අතීතයේ කළ ඉදිකිරීම්, එම තාක්ෂණික දැනුම, නිසි පරිදි සොයා ගත හොත් අදටත් බොහෝ ප්‍රයෝජන ගත හැකියි. පර්යේෂණ සහ සංවර්ධන කටයුතු අවශ්‍ය වන්නේ එම තාක්ෂණය සොයා ගන්න. මේ වන විට පවතින වකුගඩු රෝගය, ඩෙංගු රෝගය වැනි රෝගාබාධ වගේම ගංවතුර, නාය යෑම් වැනි ආපදාවලටත් පර්යේෂණ හා සංවර්ධන තුළින් පිළිතුරු සෙවිය හැකියි. මේ වන විට ඇති වී තිබෙන වන සත්ව උවදුර පාලනයටත් මෙය ඉතාමත්ම වැදගත්. අපගේ දැක්ම වී තිබෙන්නේ නවෝත්පාදන සහ නව සොයා ගැනීම් තුළින් පර්යේෂණ සහ සංවර්ධන නිවැරදි දිශාවකට යොමු කිරීමයි. එහිදී ආර්ථික සංවර්ධනය, මානව සහ සමාජීය සංවර්ධනය, පරිසර දියුණුව සහ පරිසර ආරක්ෂාව මෙන්ම පාරිසරික ගැටලු විසඳීම, පර්යේෂණ සහ සංවර්ධන යොදා ගැනීම අපේ මූලික දැක්මයි. සරලව කියන්නේ නම් අපේ ජීවිතවලට සම්බන්ධ වී තිබෙන සියලුම ගැටලු විසඳා ගැනීමයි. ඒ වෙනුවෙන් රජයට පැවරී තිබෙන කාර්යභාරය ප්‍රතිපත්ති සැකසීම සහ නියාමනය, අවශ්‍ය ප්‍රතිපාදන සකසා දීම, එම පර්යේෂණ සහ සංවර්ධනයේ සාර්ථක අත්හදා බැලීම් නිෂ්පාදනය කරා යොමුකරවීම, ඒ සඳහා පුද්ගලික අංශය සහභාගී කර ගැනීම, මහජනතාව කරා ගෙනයාම, සහ අන්තර්ජාතික ප්‍රජාවගේ සහයෝගය ලබා ගැනීම කළ යුතුයි. මේ අංශ සියල්ල අතරේ මනා අන්තර් සම්බන්ධතාවයක් තිබීම අත්‍යවශ්‍ය වන අතර, ඒ සියල්ල ආර්ථික සංවර්ධන සියල්ල සමඟ ඒකාබද්ධ කළ යුතුයි” මහාචාර්ය ගෝමික උඩුගමසූරිය පවසනවා.