දේශපාලනය පවුලේ ව්‍යාපාරයක් බවට පත්කර ගනිමින් ජනතාවට නොමැති සුවිශේෂී වරප්‍රසාද රැසක් අත්කර ගෙන සිටින මැති ඇමතිවරුන්ගේ විශ්‍රාම වැටුප් තම පාලනයක් යටතේ අනිවාර්යයෙන් ම අහෝසි කරන බව ජාතික ජන බලවේගය යළිත් අවධාරණය කර ඇත.

ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික කේ.ඩී ලාල්කාන්ත මහනුවර පැවති ජන හමුවකදී මේ බව ප්‍රකාශ කර තිබිණි. වසර පහකට මහජනතාව විසින් තම නියෝජිතයා ලෙස තෝරා පත්කර යවන මන්ත්‍රීවරු හට විශ්‍රාම වැටුප් ලබා දුන්නද එම අයිතිය රාජ්‍ය සේවකයන්ට ලැබෙන්නේ අවම වශයෙන් වසර 20ක් සේවය කිරීමෙන් පමණක් බව ඔහු එහිදී පෙන්වා දී තිබිණි.

රටේ නීතිය සියලු දෙනාට එක හා සමාන විය යුතු බවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු මාස තුනකට එක් වරක් පමණක් සැසි වාර සඳහා සහභාගී වීමේ අවස්ථාව පවා ලබා දී විශ්‍රාම වැටුපක් වරප්‍රසාදයක් ලෙස ලබා දීම අසමානතාව තහවුරු කරන්නක් බව පෙන්වා දී තිබේ.