හිටපු කැබිනට් ඇමතිවරයෙකු සහ දැඩි ලිබරල් ක්‍රියාකාරිකයෙකු වූ මංගල සමරවීරගේ මරණය සිදුවූ ආකාරය සම්බන්ධයෙන් බරපතල සැකයක්

මතුව ඇතැයි ”ලංකා ඊ නිව්ස්” වෙබ් අඩවිය වාර්තා කරයි.

 කොවිඩ්-19 වෛරසය හේතුවෙන් ඔහුගේ මරණය සිදු වූ බවට පැවසුණද, එවකට බලයේ සිටි ආණ්ඩුව ඊට වගකිවයුතු බවට කරුණු හෙළිවෙමින් තිබෙන බව එම වෙබ් අඩවිය සඳහන් කරයි.

එම පුවත් වාර්තාවේ මෙසේද සඳහන් වේ.

”2021 අගෝස්තු 24 වැනිදා සිදු වූ ඔහුගේ අනපේක්ෂිත මරණය සම්බන්ධයෙන් ඔහුගේ ආධාරකරුවන් සහ දේශපාලන විචාරකයින් අතර දැඩි සැකයක් හට ගැනින.  දැන් හෙළිවන කරුණු අනුව එය පිටුපස කුමන්තණයක් පැවති බව පෙනී යයි.

 ඒ සම්බන්ධයෙන් වන තීරණාත්මක සාක්ෂියක් වනුයේ, ප්‍රධාන පෙළේ මාධ්‍ය ආයතනයක හිමිකරුවෙකු සහ ගෝටාභයගේ සමීපතම මිතුරක වන අයෙකුට දුරකථනය ඔස්සේ මංගල විසින් යවනු ලැබූ පණිවුඩයකි. ඉන් ඔහු ඉල්ලා තිබුණේ තමන් නේවාසිකව ප්‍රතිකාර ලබන රෝහලෙන් ඉවත්ව යෑමට සහාය ලබාදෙන ලෙසටයි. එම මාධ්‍ය ආයතන හිමිකරු අදාළ පණිවුඩය ගෝටාභයට සමීපතම  සිංහල නොවන කැබිනට් ඇමතිවරයෙකු වෙත යවා තිබේ. ඔහු තවමත් ආණ්ඩුව සමග සිටින අයෙකි.  මංගලගේ මරණය සත්‍ය වශයෙන් සිදු වූයේ කෙසේදැයි යන්න පිළිබ‍ද තොරතුරු ඔහු සතුව තිබෙනු ඇත.



 වංසගත තත්ත්වයකට මුවාවී තම දේශපාලන ප්‍රතිවාදියෙකු නැතිකර දැමීමට ගෝටාභය ආණ්ඩුව කටයුතු කළ බවට කරුණු හෙළි වුවහොත් එය මෙරට දැඩි දේශපාලන අර්බුදයකට හේතුසාධක වන බවට නොඅනුමානය.


මංගල විසින් රාජපක්ෂ පාලනයට එරෙහිව එක්රැස් කළ සාක්ෂි අතර ප්‍රධාන වනුයේ, හිටපු ලිබියානු නායක මුවම්මර් ගඩාපිගෙන් ලැබුණු අතිවිශාල මුදල් ආධාරයක් ඔවුන්ගේ පෞද්ගලික බැංක ගිණුම්වලට යැවීම සම්බන්ධයෙනි.


 සාධාරණත්වය හා විනිවිදභාවය වෙනුවෙන් සටන් කළ ඔහු වැනි අයෙකු රාජපක්ෂවරුන්ට එරෙහිව එසේ සාක්ෂි එක්රැස් කළේ රටේ මුල්බැස පවතින දූෂණයට එරෙහිව ජාත්‍යන්තර මැදිහත්වීමක් ඉල්ලා සිටීමටයි.

 මංගලගේ මරණය සම්බන්ධයෙන් ලැබී ඇති නව සාක්ෂි ඔහුගේ සමීප මිතුරියක වන සමන්තා පවර් වෙත යවා ඇත්තේ, ඇමෙරිකානු ආණ්ඩුවේ සහාය මත ජාත්‍යන්තර මැදිහත්වීමක් අපේක්ෂාවෙනි.

 ප්‍රජාතන්තවාදය සහ මානව හිමිකම් වෙනුවෙන් සටන් කළ නායකයෙකුගේ අකල් මරණය සිදු වූ ආකාරය සම්බන්ධයෙන් සත්‍යය හෙළි කරන ලෙසට ඔහුගේ මරණයෙන් කම්පා වී සිටින ජනතාව ඉල්ලා සිටී.”