අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය අරුණාචලම් අරවින්ද කුමාර් අවසරයකින් තොරව 1987 වසරේ සිට තමන් සන්තකයේ තබාගෙන සිටි හැටන් වැවිලි සමාගමට අයත් ලිදුල හෙන්ෆොල්ඩ් වතුයායේ පිහිටි නිල නිවසක් නුවරඑලිය දිසා අධිකරණයේ නියෝගයක් මත ඊයේ (05) දින එම අධිකරණයේ රෙජිස්ටාර්වරිය සහ පිසිකල් නිලධාරින් විසින් වතු අධිකාරිවරයා වෙත යලිත් බාර දී තිබෙනවා. අරවින්ද කුමාර් මහතා 1987 වසරේ එම වතුයායේ ප්‍රධාන ලිපිකරු වශයෙන් සේවය කළ අයෙක්.

තමන් වතුයායේ රැකියාව කළ කාලයේ දී හෙන්ෆොල්ඩ් වතුයායේ පාලන අධිකාරිය විසින් අරවින්ද කුමාර් මහාතට නිල නිවස වශයෙන් භාවිතා කිරිමට මෙම නිල නිවස ලබා දි තිබූ බවයි කියන්නේ. ඔහු එම වතුයායේ සේවයෙන් ඉවත් විමෙන් පසු ඔහුට ලබා දි තිබු නිල නිවස ආපසු වතු යායට භාර නොදි එම නිවස අලුත්වැඩියා කර එහි රැදි සිටිම සම්බන්ධයෙන් වතු පාලන අධිකාරිය විසින් නුවරඑලිය දිසා අධිකරණය හමුවේ නඩු පවරා තිබුණා.

නුවරඑලිය දිසා අධිකරණයේ දිර්ඝ කාලයක් විභාග වෙමින් පැවති නඩුවේ තින්දුවෙන් අරවින්ද කුමාර් මහතාට එම නිල නිවසෙන් ඉවත් වන ලෙසට නියෝග කරනු ලැබුවා. ඉම තීන්දුව පිළිබඳව අරවින්ද කුමාර් මහතා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියාචනාවක් ඉදිරිපත් කර තිබු අතර, ශ්‍රේෂ්ඨාධිකරණයෙන්ද ඔහුට එම නිවසෙන් ඉවත් වන ලෙසයි තීන්දුව ලාබා දුන්නේ.

නුවරඑලිය දිසා අධිකරණයේ මහෙස්ත්‍රාත්වරියගේ නියෝගය මත එම අධිකරණයේ රෙජිස්ටාර්වරිය ඇතුළු පිසිකල් නිලධාරින් ලිදුල පොලිසියේ නිලධාරින්ගේ දැඩි ආරක්ෂාව මධ්‍යයේ එම නිවස වෙත පැමිණ නිවසේ තිබු අරවින්ද කුමාර් මහතාට අයත් පෞද්ගලික බඩු බාහිරාදිය සියල්ල ලැයිස්තුගත කර එහි පිටපතක් අධිකරණය භාරයේ තබා ගනිමින් එම නිවස සහ බඩු බාහිරාදිය එම වතුයායේ පාලන අධිකාරිය වෙත භාර දි ඇති බව වාර්තා වෙනවා.

අරවින්ද කුමාර් මහතා දේශපාලනයට පිවිසිමත් සමඟ දේශපාලනය බලය භාවිතා කරමින් එම නිල නිවසේ මෙතෙක් කාලයක් රැදි සිටි බවයි හෙන්ෆොල්ඩ් වතුයායේ පාලන අධිකාරිය කියන්නේ. අධිකරණය මගින් වතු පාලන අධිකාරිය වෙත භාරදුන් නිල නිවස එම වතුයායේ සේවය කරන වෙනත් නිලධාරියෙකුට නිල නිවස වශයෙන් භාවිතා කිරිමට ලබාදෙන බව ඔවුන් පවසා තිබෙනවා.