නව දේශපාලන ගමනක ආරම්භය මාතරින් සනිටුහන් වී තිබෙන බව ඊයේ (30) මාතර දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. පොහොට්ටුවේ මන්ත්‍රී, විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර විසින් සංවිධානය කර තිබූ රැලියක් අමතමිනුයි ජනාධිපතිවරයා මේ බව පැවසුවේ. පක්ෂ දේශපාලනය පසුවට තබා තමන් සමඟ එක්වන ලෙස විපක්ෂයට ද ආරාධනා කළ ජනාධිපතිවරයා සියලුදෙනා එක් කර ගනිමින් රට ගොඩනඟන්නේ කෙසේද යන පාඩම එවිට තමන්ගෙන් ඉගෙන ගැනීමට ඔවුන්ට අවස්ථාව ලැබෙන බව පවසා සිටියා.

පොහොට්ටුව විසින් ජනාධිපතිවරණයට තමන්ගේම අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන බව කියද්දී ජනාධිපතිවරයාගේ මෙම රැලියට පොහොට්ටුව නියෝජනය කරන විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර, කර්මාන්ත හා සෞඛ්‍යය අමාත්‍ය රමේෂ් පතිරණ, විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්‍රි, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග, දකුණු පළාත් ආණ්ඩුකාර ලක්ෂ්මන් යාපා අබේවර්ධන, නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ, රාජ්‍ය අමාත්‍යවරුන් වන රෝහණ දිසානායක, කනක හේරත්, විජිත බේරුගොඩ සමඟ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ, ප්‍රේමනාත්.සී.දොළවත්ත සහභාගී වී සිටි බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය කියන්නේ.