වෛරී ප්‍රචාර ගෙන ගිය පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් පොලිස් මාධ්‍යය ඒකකය නිකුත් කළ නිවේදනයේ සිරස්තලය බරපතළ දෝශ සහිත බව විශ්ලේෂකයන් පෙන්වා දී තිබේ.


එම නිවේදනයෙහි සිරස්තලය දක්වා තිබෙන්නේ “එල්. ටී. ටී. ඊ. මහවිරු දින උත්සව සැමරුම් ප්‍රචාර සිදු කරමින් මහජනයා නොසන්සුන් කිරීම සම්බන්ධව සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීම – අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව” යනුවෙනි.

එහි සරළ තේරුම වන්නේ එල්. ටී. ටී. ඊ සංවිධානය නමින් මහ විරු දින සමරුවක් පවත්වා ඇති බවත්, එය ප්‍රචාරය කළ පුද්ගලයින් මහජනතාව නොසන්සුන් කිරීමට උත්සාහ කළ බවත් ය.

නමුත්, එල්.ටී.ටී.ඊ සංවිධානයක් රට තුළ ක්‍රියාත්මක නොවන අතර, පැවති එම සංවිධානයේ ලාංඡන හෝ හිටපු නායකයින්ගේ ඡායාරුප ඇතුළු තහනම් කර ඇති ක්‍රියාවන් කිසිවක් මෙම වසරේදි ශ්‍රී ලංකාව තුළ සිදු කර නොමැත.

2018 වර්ෂයේ දින 52 කුමන්ත්‍රණය උපයෝගී කර ගනිමින් පවත්වන ලද සැමරුමක ඡායාරූප සහ වීඩියෝ, 2024 නොවැම්බර් 27 වෙනි දින ලෙද දක්වමින් ප්‍රචාරය කර තිබිණි.

එම සත්‍ය තොරතුර පැහැදිලි වන ආකාරයට පොලිස් නිවේදනයේ සිරස්තලය යෙදීමට එම මාධ්‍ය අංශය අසමත් වූ අතර සමාජයට වැරදි අදහසක් ද ලබා දී තිබේ.

එම නිවේදනය අනුගමනය කරමින් ජනමාධ්‍යය ද වැරදි ආකාරයට එම ප්‍රවෘත්තිය ප්‍රචාරය කර තිබිණි.