ක්ලබ් වසන්ත ඝාතනය සිට මේ දක්වා දිග හරින ලද ක්‍රියාවලිය පිළිබඳව විශ්ලේෂකයන්ගේ දැඩි අවධානය යොමු වී තිබෙන අතර අධිකරණ සීමාවල් පවා උල්ලංඝණය කිරීම පිළිබඳව සමාජයක් ලෙස ගැඹුරින් සිතා බැලිය යුතු බව ඔවුන් අවධාරණය කර ඇත.

ඝාතනය සිදු කළ සැණින් වීඩියෝ දර්ශන රැසක් මුදාහැරීම, ප්‍රංශයේ සිට කංජිපානි එම ඝාතනය සජීවීව නැරඹූ බව ප්‍රකාශ කිරීම, ටැටූ ව්‍යාපාරිකයාගෙන් ප්‍රශ්න කිරීමේ පොලිස් නාට්‍යය, පොලිස් කොමිෂන් සභාව සහ පොලිස්පති ඒ සම්බන්ධයෙන් දක්වා තිබෙන දියාරු ප්‍රතිචාරය සහ අවසන් වශයෙන් පාතාලයේ බව හඟවන පෝස්ටර් ප්‍රදර්ශනය කිරීම සංවිධානාත්මක ප්‍රචාරක ක්‍රියාවලියක් බව විශ්ලේෂකයන්ගේ මතය වී තිබේ. මෙය වඩාත්ම තහවුරු වී තිබෙන්නේ විනය විරෝධීව පමණක් නොව නීතිය පවා උල්ලංඝණය කරමින් පොලිස් නාටකය රඟ දැක්වූ නිලධාරීන් සම්බන්ධයෙන් පොලිස් කොමිෂන් සභාව සහ පොලිස්ලති ක්‍රියා කළ ආකාරය විමර්ශනයට ලක් කිරීමේදීය.

පොලිස් කොමිෂන් සභාව අදාළ ක්‍රියාව පිළිබඳව සොයා බලන ලෙස පොලිස්පතිට දන්වන ලද අතර පොලිස්පති මේ දක්වා සිදුකර තිබෙන්නේ සී.ඩී වික්‍රමරත්න හිටපු පොලිස්පතිගේ චක්‍රලේඛයක් අලුත් කිරීම පමණි. නීති ප්‍රවීණයන් පෙන්වා දී තිබෙන්නේ නාටකය රඟ දැක්වූ පොලිස් නිලධාරීන්ගේ සේවය අත්හිටුවා පරීක්ෂණ සිදු කළ යුතු වරදක් කර ඇති බවයි.

එමෙන්ම පාතාලයේ බව හඟවන පෝස්ටර් ප්‍රදර්ශනය කිරීම රටම භීතියකට පත් කිරීමේ උත්සාහයක් බව බොහෝ අංශවලින් ප්‍රකාශ වී තිබේ. විශේෂයෙන්ම තීරණාත්මක ජනාධිපතිවරණය ආසන්නයේදී මෙවැනි පසුබිමක් නිර්මාණය කිරීම 2019 පාස්කු ප්‍රහාරය හා සම්බන්ධව සමාජය තුළ ඇති වූ භීතිය පිළිබඳව නැවත සමාජයේ මතකයන් අවධිකරගන්නක් බව පැහැදිලි වී ඇත. ගෝටාබය රාජපක්ෂ සහ මෛත්‍රීපාල සිරිසේන ඝාතනය කිරීමට ඉන්දීය රෝග සංවිධානය කුමන්ත්‍රණය කරන බව නාමල් කුමාර නැමැත්තා කළ ප්‍රකාශය මුල් කර ගත් ආකාරයටම ප්‍රංශයේ සිට කංජිපානි ඉම්බ්‍රාන් නැමැත්තා මෙරට පාතාලය ප්‍රබල ලෙස මෙහෙයවන බවට භීතියක් සමාජයේ ඇති කිරීමේ ප්‍රචාරක උත්සාහයක් පවතින්නේ යැයි බලවත් සැකයක් මතුව තිබේ.

විශේෂයෙන්ම ක්ලබ් වසන්ත ඝාතනය කළ උණ්ඩවල KPI යන අකුරු සඳහන් කර තිබීම පිළිබඳවද විශ්ලේෂකයන්ගේ විශේෂ අවධානය යොමු වී ඇත. එහිම දිගුවක් ලෙස පෝස්ටර් යුද්ධයක් පාතාලය විසින් ඇති කර තිබෙන බව සැලකියහැකිය. ජනාධිපතිවරණය සම්බන්ධයෙන් ආණ්ඩුව ගෙන ගිය කුමන්ත්‍රණකාරී ප්‍රයත්නයන් සියල්ල සමාජය හමුවේ විහිළුවක් බවට පත්වී ඇති අවස්ථාවක වෙනත් ආකාරයකින් පාතාලය පෙරට දමා ජන ජීවිතය අස්ථාවර කිරීමට ක්‍රියා කරමින් සිටින්නේ දැයි බලවත් අවධානයක් යොමු වී ඇත.