තමන්ට ලැබුණු සුරා බදු බලපත්‍රයක් ගම්පහ, මාකේවිට ප්‍රදේශයේ පදිංචි සුරා බදු නිලධාරියෙකුගේ නමට නිකුත් කර ඇති බවට සිදුකළ ප්‍රකාශය සාවද්‍ය හෙයින් ඉන් තම කීර්තිනාමයට සිදුවූ හානියට රුපියල් මිලියන 200 ක මුදලක් වන්දි ලෙස ගෙවන ලෙස ඉල්ලමින් ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග විසින් මන්ත්‍රී නීතිඥ දයාසිරි ජයසේකර වෙත එන්තරවාසියක් යොමු කර තිබෙනවා. නීතිඥ නදීෂ හෙට්ටිආරච්චි මගින් මෙම එන්තර වාසි යොමු කරමින් අමාත්‍යවරයා, මන්ත්‍රීවරයාට දැනුම් දී ඇත්තේ අදාළ වන්දි මුදල දින 14 ඇතුළත නොගෙවන්නේ නම් එම මුදල හා ඒ මත නෛතික පොලියද, නඩු ගාස්තු අය කරමින් නඩු පවරන බවයි.
තම සේවාදායකයා වන ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග සම්බන්ධයෙන් කුරුණෑගල පැවැති රැස්වීමක දී හා ඉරාජ් ශෝ නැමැති you tube චැනලය ඔස්සේ දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා පළ කළ අදහස් අසත්‍ය බවයි නීතිඥය නදීශ හෙට්ටිආරච්චි එම එන්තර වාසියේ සඳහන් කර තිබෙන්නේ. මන්ත්‍රීවරයා විසින් සිය සේවාදායකයා සම්බන්ධයෙන් පළ කළ එම ප්‍රකාශය ඊට පසු දින පෞද්ගලික රූපවාහිනි මාධ්‍යයක උදෑසන ‘පත්තරේ විස්තරේ’ වැඩසටහන මගින් සාකච්ඡාවට ලක් කර ඇති බවද එම එන්තරවාසියේ සඳහන් කර තියෙනවා.
අදාළ අසත්‍ය ප්‍රකාශය මගින් වත්මන් රජයේ ප්‍රබල කැබිනට් අමාත්‍යවරයෙකු හා මහ මැතිවරණයේ වැඩිම මනාප සංඛ්‍යාවක් ලබාගෙන පාර්ලිමේන්තුවට තේරීපත්වුණු තම සේවාදායකයා සම්බන්ධයෙන් පවතින මහජන විශ්වාසය බරපතල පළුදුවීමක් සිදුවීමට හැකියාව ඇති බවයි එන්තරවාසියෙන් පවසා ඇත්තේ.
පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර විසින් සිදුකළ මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් තම සේවා දායකයා සුරාබදු කොමසාරිස් ජෙනරාල්වරයාගෙන් විමසා ඇති අතර තම සේවාදායකයාගේ නමින් හෝ ඔහුගේ නිර්දේශ මත වෙනත් අයකුට කිසිදු සුරාබදු බලපත්‍රයක් නිකුත් කර නොමැති බවටත් තම සේවාදායකයා සහතික වී ඇති බවත් නීතීඥ නදීෂ හෙට්ටිආරච්චි මගින් යවා ඇති එන්තරවාසියේ සඳහන් බවයි වාර්තා වන්නේ.