කලින් පැවැති සියලු මැතිවරණවලට වඩා මේ ජනාධිපතිවරණය සම්බන්ධයෙන් ජනතාවගේ උද්යෝගය ඉහළ යමින් තිබෙන බව ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසනවා. තම පක්ෂයත් මේ රටේ බහුතර ජනතාවත් සාමකාමීව මැතිවරණයට මුහුණ දීමේ සූදානමක් පවතින බවයි ඔහු කියන්නේ.
“මෙම මැතිවරණයේ ප්‍රතිඵලය සම්බන්ධයෙන් භීතියට පත් වී සිටින මෙතෙක් සිටි කණ්ඩායම් සමහර මාධ්‍ය නාලිකා පාවිච්චි කරමින්, විවිධ අපහාස, මඩ, අවලාද ගෙන යනවා. තමන්ගේ පක්ෂයේ ප්‍රතිපත්ති පැහැදිලි කර දී, ජනතාවගේ ඡන්දය ලබා ගන්නවා වෙනුවට ජනතාව තුළ භීතියක් නිර්මාණය කිරීම සඳහා සමගි ජන බලවේගය, රනිල් වික්‍රමසිංහට එකතු වී සිටින පොහොට්ටු කණ්ඩායම සහ එවැනි තවත් කණ්ඩායම් ජාතික ජන බලවේගය මත ප්රචණ්ඩත්වයේ ලේබලය අලවන්න උත්සාහ කළා. ඔවුන් ඒ පිළිබඳව සාකච්ඡා කළ තැන්වලින්, ඔවුන්ගේ ප්රචාරක කටයුතු භාර දී තිබෙන පුද්ගලයන්ගෙන් සහ ආයතනවලින් අපට කල් ඇතිව තොරතුරු ලැබුණා. රටේ මහජනතාව තමන්ගේ බලයක් හැටියට මහජන බලයක් ගොඩනඟන්න සූදානමින් ඉන්නේ. අපේ ප්‍රතිවාදියාගේ ප්රචාරක කටයුතුවලට කුමන හෝ හේතු නිසා සම්බන්ධ වීමට සිදු වී තිබුණත්, ඔවුන්ගේ හෘදය සාක්ෂියට අනුව කුමන්ත්රණකාරී කටයුතු අප වෙත හෙළි කරමින් සිටිනවා. මෙයට මාස තුනකට පෙර ජනාධිපතිවරයාගේ ප්රචාරක කටයුතු භාර දුන් ආයතනය තුළින් ඔහුගේ මූලික සැලැසුම් අපට ලැබුණා. ප්රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් අපව සම්බන්ධ කර දැක්වීමට දරන ලද උත්සාහය මුල් වටයේදීම අසාර්ථක වුණා.
සජිත් ප්‍රේමදාසගේ කණ්ඩායමත්, පොහොට්ටුවේ කණ්ඩායමත් එවැනිම කටයුතු සැලසුම් කර තිබුණා. අනෙකුත් සියලු කටයුතු අසාර්ථක වූ පසුව 2022 මැයි මස 09 වැනිදා කටුනායක සහ යම් වෙලාවක මත්තල ගුවන්තොටුපොළ ආශ්‍රිතව සිදු වූ යම් යම් ක්‍රියා වර්තමානයේ සිදු වන ඒවා බව පෙන්වන්න වීඩියෝ පට අලුතින් මුදාහැර තිබෙනවා. ගෝල්ෆේස් සාමකාමී අරගලයේ සිටි මහජනතාවට ආණ්ඩුවේ මැරයන් එල්ල කළ ප්‍රහාරයෙන් පසුව ඇති වූ යම් යම් සිද්ධීන් සම්බන්ධ වීඩියෝ පට මේ ලෙස මුදාහරිනවා.
ආරක්ෂක රාජ්‍ය ඇමැති, ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් ගෝල්ෆේස් පහර දීම සම්බන්ධයෙන් වගකිව යුත්තේ කවුරුන් දැයි හෙළි කළා. ප්‍රචණ්ඩකාරීන් මෙහෙයැවූ, මහින්ද රාජපක්ෂ සහ ජොන්ස්ටන් ප්‍රනාන්දු පිළිබඳව වීඩියෝ පටවලින් කවුරුත් දැක්කා. ගෝල්ෆේස් පහර දීමට පසුව මහජනතාවගෙන් එල්ල වූ විරෝධය හමුවේ රටෙන් පලා යාමට සූදානම් වන පිරිස් පිළිබඳව මහජනතාවගේම ඇතැම් පිරිස් පූර්ව අවධානයක සිටියා. එවැනි සිදුවීම් ඉදිරියේදී සිදු නොවන්නට ජනතාව පාඩම් ඉගෙනගෙන තිබෙනවා.
අප මුලින් ම කියන්නේ, පැරැණි වීඩියෝ දැක්කාට කලබල නොවන ලෙසයි. මාලිමාවේ යැයි හැඟවෙන දුරකථන ඇමතුම් ලබාදී සමහර අයට තර්ජනය කිරීම් පිළිබඳව අපට වාර්තා වෙනවා. එවැනි තර්ජනය කිරීම් ලැබෙන දුරකථන අංක පිළිබඳව වහාම ළඟම තිබෙන පොලිස් ස්ථානයට පැමිණිලි කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. අපටත් ඒ පිළිබඳව දැනුම් දුන්නොත්, අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ගවලට යොමු කරනවා. අපට ඡන්දය නොදෙන හෝ වෙනත් මතයක් දරන කිසිවකුට මෙවැනි දුරකථන ඇමතුම් ලබා දීමේ කිසිදු අවශ්‍යතාවක් අපට නැහැ” යි ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික වෛද්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කරනවා.