බම්බලපිටියේ පිහිටි රුපියල් කෝටි 10ක් වටිනා නිවසක් ගලබොඩඅත්තේ ඥාණසාර හිමි විසින් බලහත්කාරයෙන් අත්පත් කරගෙන තිබූ බව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයේ දී ඊයේ (12) වී තිබෙනවා. නීත්‍යනුකූල නොවන ආකාරයට බලහත්කාරයෙන් අත්පත් කරගෙන සිටින එම දේපොළෙන් වහාම ඉවත්වන ලෙසත්, එසේ කටයුතු නොකළහොත් අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් ක්‍රියා කිරීමට සිදුවන බවත් කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් පසාන් අමරසිංහ විවෘත අධිකරණයේ දී ගලබොඩඅත්තේ ඥාණසාර හිමියන් ඇතුළු වගඋත්තරකරුවන් තිදෙනාට නියෝග කර තිබෙනවා.
අංක 36/5/1, ගෘබරි ගාර්ඩන්ස්, බම්බලපිටිය සහ දැනට අංක 107/ඒ/2 ශාන්ත මැතිව් මාවත, ඒකල පදිංචි ඉනෝකා චන්දිමා සේනානායක යන අය විසින් ප්‍රාථමික නඩු විධාන සංග්‍රහ පනත යටතේ පවරා තිබූ නඩුවක තීන්දුව දෙමින් අතිරේක මහෙස්ත්‍රාත්වරයා එම නියෝග කළා.
මෙහි වගඋත්තරකරුවන් ලෙස රාජගිරිය, නාවල පාර, ශ්‍රී සද්ධර්ම රාජිත විහාරයේ ගලබොඩඅත්තේ ඥාණසාර හිමි, එම හිමියන්ගේ ගෝල හිමිනමක බව කියන දයාසීහ හිමි, බම්බලපිටිය, ගෘබර් ගාර්ඩන්ස්. සල්කන් රෙසිඩන්ස් හි සභාපති ලෙස කටයුතු කරන සිල්වෙස්ටර් නමැති අය නම්කර තිබුණා.
පෙත්සම්කාරියගේ නැන්දණිය මේ වන විට 82 වියේ පසුවන අමෙරිකාවේ වෙසෙන සුමිත්‍රා සේනානායක වීරසිංහට අයත් දේපොළක් වන මෙම නිවස පෙත්සම්කාරිය වෙත පවරා ඇති බව ඇයගේ දිවුරුම් ප්‍රකාශයේ සඳහන් කරනවා. එම දේපොළෙහි සිය නැන්දණිය 2018 වසරේ සිට 2022 මැයි 18 දක්වා ජීවත් වූ බවත්, එම අවස්ථාවේ දී ඇය බලා ගත්තේ තමා විසින් බවද පෙත්සම්කාරිය දන්වා සිටියා. තමාගේ දියණියන් වන චින්ත්යා කෞශලී පෙරේරා සහ රශ්මි කෝශිලා පෙරේරා විසින්ද සිය නැන්දණිය සමඟ අදාළ නිවසේ ජීවත් වූ බවයි පෙත්සම්කාරිය දන්වා සිටියේ.
තම නැන්දණිය 2022 මැයි 18 වැනිදා විදේශගත වූ අතර නිවසෙහි යතුරු ඇතුළු සියලු දේපොළ බාරදී ගිය බවත් දන්වා සිටින පෙත්සම්කාරිය ඉන් අනතුරුව වගඋත්තරකාර ගලබොඩඅත්තේ ඥාණසාර හිමියන් සහ එම හිමිනමගේ ගෝල හිමි නමක් යැයි පවසමින් අයකු වරින්වර දුරකථන ඇමතුම් දී අදාළ දේපොළෙන් ඉවත්වන ලෙස දැනුම් දුන් බව දන්වා සිටියා. එම වගඋත්තරකරුවන් දිගින් දිගටම සිදුවන හරිහැර ඉවසිය නොහැකි නිසා ඒ පිළිබඳ බම්බලපිටිය පොලිසිය වෙත 2023 අගෝස්තු 17 දින පැමිණිල්ලක් කළ බවත්, එම පැමිණිල්ල දමා නැවත නිවසට යන විට එහි සිටි ආරක්ෂක නිලධාරින් නිවසට ඇතුළු නොවන ලෙසට තර්ජනය කරමින් බාධා කළ බවත් පෙත්සම්කාරිය පවසා තිබෙනවා.
මේ පිළිබඳ විමසීමට බම්බලපිටිය පොලිසිය වෙත ගිය අවස්ථාවේ දී සහකාර පොලිස් අධිකාරිවරයකු යැයි තමන්ව හඳුන්වා ගන්නා අයකු ද පැමිණ තමාට බැණ වැදී වගඋත්තරකාර ගලබොඩඅත්තේ ඥාණසාර හිමියන්ට පක්ෂව කටයුතු කළ බව පෙත්සම්කාරිය අධිකරණයට දැනුම් දී තිබෙනවා. ඉන් අනතුරුව තමන්ට වූ අසාධාරණය වෙනුවෙන් යුක්තිය ඉෂ්ට කර ගැනීම සඳහා ප්‍රාථමික නඩු විධාන සංග්‍රහ පනතේ 66(1) (ආ) වගන්තිය යටතේ ඉල්ලීමක් කරමින් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ අංක 831/3/23 යටතේ නඩුවක් පැවරූ බවයි පෙත්සම්කාරිය දන්වා සිටියේ.
වසරකට ආසන්න කාලයක් පුරා අදාළ නඩුව අධිකරණය හමුවේ විභාග වූ අතර පෙත්සම්කාරිය වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥ සන්ධ්‍යා තල්දූව අධිකරණය හමුවේ දීර්ඝ වශයෙන් කරුණු ඉදිරිපත් කළා. මෙම ප්‍රශ්නගත දේපොළෙහි සාමකාමී නිරවුල් භුක්තිය පෙත්සම්කාරියට හිමි බව තීන්දු කළ අතිරේක මහෙස්ත්‍රාත්වරයා ඒ අනුව පෙත්සම්කාරියට නිවසේ භුක්තිය භාර දෙන ලෙස වගඋත්තරකරුවන්ට නියෝග කරනු ලැබූ බව වාර්තා වෙනවා.