හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් රටින් පිටව ගොස් ඇති බව වාර්තා වෙනවා. පසුගිය 26 වෙනිදා ඔහු රටින් පිටව ගොස් ඇති බවයි කියන්නේ.

26 වෙනිදා සවස 03.10ට කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලින් පිටව ගොස් ඇත්තේ එමිරේට්ස් ගුවන් සේවයට අයත් EK649 දරණ ගුවන් යානයෙන් බවයි කියන්නේ. වාර්තා වන අන්දමට ඔහු ඩුබායි වෙත ගොස් අතර එතැන් සිට එක්සත් රාජධානිය වෙත ගොස් ඇතැයි ඇතැම් පිරිස් පවසනවා.

බලවත් විරෝධයක් තිබියදී දේශබන්දු තෙන්නකෝන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් 2024.02.26 වන දින මෙරට 36 වන පොලිස්පතිවරයා ලෙස පත්කරනු ලැබුවා.

ඔහු පොලිස්පති ධුරයේ කටයුතු කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය පසුගිය ජූලි 24 දින අතුරු තහනම් නියෝගයක් නිකුත් කරනු ලැබුවා. ඒ ඔහු පොලිස්පතිවරයා වශයෙන් පත්කිරීමට ජනාධිපතිවරයා ගනු ලැබූ තීරණය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා අති ඉදිරිපත් කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් 09 ක් විභාගයට ගැනීමට අවසර දෙමිනුයි ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝගය නිකුත් කරනු ලැබුවේ.

දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධුරයේ කටයුතු කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය නිකුත් කළ අතුරු තහනම් නියෝගය ක්‍රියාත්මක වන කාලසීමාව තුළ පොලිස්පති තනතුර සඳහා නීතියට අනුකූලව සුදුසු අයෙකු නම් කිරීමට පියවර ගන්නා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ජනාධිපතිවරයාට නියම කළා. යසන්ත කෝදාගොඩ, අචල වෙංගප්පූලි සහ මහින්ද සමයවර්ධන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝග ප්‍රකාශයට පත් කළා.

තීන්දු ප්‍රකාශයට පත්කළමින් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු යසන්ත කෝදාගොඩ සඳහන් කළේ, මෙම පෙත්සම් විභාගයේ දී පෙත්සම්කරුවන් විසින් අධිකරණය හමුවේ ප්‍රබල නඩු නිමිත්තක් තහවුරු කිරීමට සමත් වී තිබෙන බවයි.